ජලජ ජීවී ආක්‍රමණයක් ! රේගුවෙන් වළකයි..

382

 

ශ්‍රී ලංකාවට බලපාන ආක්‍රමණශීලී ජලජ ජීවීන්  3,500කට වැඩි ප්‍රමාණයක් තායිලන්තයේ සිට මෙරටට ආනයනය කිරීමට උත්සාහ කළ තිදෙනෙක් ශ්‍රී ලංකා රේගු භාරයට ගැනේ. 

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරින් විසින් අද ( 01 ) උදෑසන කරන ලද, මෙහෙයුමකදී, තායිලන්තයේ බැංකොක් සිට ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 

සැකකරුවන් ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 31ත් 26ත් වූ පිරිමි අය වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 22ක් වූ කාන්තාවකි. ඔවුන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ UL 403 ගුවන් යානයෙන් උදෑසන 10.30 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 

සැකකරුවන්ගේ පරික්‍ෂා කළ ගමන් මලු වල සඟවා තිබූ මෙම ජලජ ජීවීන්, ශ්‍රී ලංකාවේ පරිසරයට දැඩි ව්‍යසනයක් වන ආක්‍රමණශීලී ජීවීන් ලෙස වර්ගීකරණය වන අතර, ඒවා ආනයනය කිරීම ව්‍යවස්ථාපිතව තහනම්ය. 

මෙම විශේෂ මෙහෙයුම ශ්‍රී ලංකා රේගුවේ  ජෛව විවිධත්වය, සංස්කෘතික සහ ජාතික උරුම ආරක්ෂණ ඒකකය සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය.  

මෙම ගෙන්වීමේ උත්සාහය පිටුපස ඇති ජාලය හා අරමුණු අනාවරණය කරගැනීම සඳහා විමර්ශනයක් රේගුව විසින් මේ වනවිට ආරම්භ කර ඇත.


advertistmentadvertistment