ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (27දා) සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය එම දිනවල පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වේ.
මෙවර 25 වැනි සංවත්සරය යෙදී තිබීම නිසා පොත් ප්‍රදර්ශනය පසුගිය වසරවලට වඩා ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ලක්ෂ 10කට අධික ජනකායක් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද එම සංගමය කියයි.
මෙවර පොත් ප්‍රදර්ශනයේ විශේෂත්වයක් වනුයේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට විශාල සේවාවක් ඉටු කර හිටපු සභාපතිවරුන් හය දෙනකු වන ආරියදාස වීරමන්, එච්. ඩී. ප්‍රේමසිරි, රංජිත් සමරනායක, සරත්චන්ද්‍ර වන්නිආරච්චි, විජිත යාපා සහ උපාලි වනිගසූරිය යන මහත්වරුන් අතින් මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමයි.
මෙවර පොත් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 450කට අධික වන අතර, විදේශීය ප්‍රකාශකයන් සඳහා කුටි 50කින් සමන්විතය. ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, මැලේසියාව, එංගලන්තය වැනි රටවල ප්‍රකාශකයන් සහභාගි වීමට නියමිතය.
මෙවරද මෙහිදී ‘දිරි දරු’ ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ.
සෑම දිනකම පෙරවරුවේ හා පස්වරුවේ පොත් දොරට වැඩීම් සිදු කෙරේ.
මීට අමතරව සංස්කෘතික සංදර්ශන ද දිනපතා පැවැත්වේ.
පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පාඨකයන්ගේ පහසුව සඳහා කොළඹ අවට සිට නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයන බවත් ඒ සඳහා බස් රථ 3ක් යොදවන බවත් පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්