ට්‍රම්ප් සිය උප ජනාධිපති අපේක්ෂකයා නම් කරයි

247

මෙම වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ සිය උප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රිපබ්ලිකන් පක්ෂයේ ඔහියෝ ප්‍රාන්තය නියෝජනය කරන සෙනෙට් සභික ජේම්ස් ඩේවිඩ් වැන්ස් තෝරා ගැනීමට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පියවර ගෙන තිබේ. ඉකුත් සෙනසුරාදා ඝාතන තැතකින් දිවි ගලවාගත් හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් පෙරේදා (15දා) මිල්වවුකි නගරයේ පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවට සහභාගී වෙමින් 39 හැවිරිදි සෙනෙට් සභික වෑන්ස් සිය උප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මුලින් ට්‍රම්ප්ව විවේචනය කළ අයෙකු වන උප ජනාධිපති අපේක්ෂක වෑන්ස් පසුකාලීනව ඔහුගේ මිත්‍රයෙකු බවට පත්ව තිබේ. ග්‍රන්ථ කතුවරයෙකුද වන වෑන්ස් 2016 වසරේදී ‘හිල්බ්ලි එලෙගි’ නමැති ග්‍රන්ථය එළිදක්වා තිබූ අතර 2022 වසරේදී ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්ව තිබේ. ඉකුත් සෙනසුරාදා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති රැස්වීමකදී හිටපු ජනාධිපති ට්‍රම්ප් වෙඩි පහරට ලක්වීම සම්බන්ධයෙන් ‘එක්ස්’ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් වැන්ස් පවසා ඇත්තේ ජනාධිපති බයිඩන්ට හිටපු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ඝාතන ප්‍රයත්නය සම්බන්ධයෙන් බැන වැදිය යුතු බවයි.

මේ අතර රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවට වීරවරයෙකුට ලැබෙන ආකාරයේ පිළිගැනීමක් සහිතව සහභාගී වී ඇති ට්‍රම්ප් සමුළුව පැවති ස්ථානයට පැමිණෙනවාත් සමගම රැස්ව සිටි පිරිස ‘සටන් කරන්න’ යනුවෙන් හඬ නගා ඇති අතර එම අවස්ථාවේ පසුබිමින් ඇමරිකානු ගායක ලි ග්‍රීන්වුඩ් ‘ගයන ගෝඩ් බ්ලේස් ද යු එස් ඒ’ ගීතය වාදනය වී ඇත. ට්‍රම්ප් පක්ෂ සමුළුවට සහභාගී වී ඇත්තේ වෙඩි තැබීමෙන් තුවාල වී තිබූ දකුණු කන අසල බැන්ඩේජ් පටියකින් ඔතාගෙන වන අතර ඔහු සමුළුව අමතා නොමැත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment