ටියුෂන් ගාස්තු ඉහළ යෑමෙන් දෙමාපියෝ කබලෙන් ළිපට

117

රුපියල ශක්තිමත් වීම මෙන්ම ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු බොහෝ භාණ්ඩ හා සේවා ගාස්තු පහළ ගිය ද අසීමිත ලෙස ඉහළ දැමූ පෞද්ගලික පංති ගාස්තු පහළ දැමීමට, අමතර පංති ගුරුවරුන් කටයුතු නොකිරීම නිසා අහිංසක දරුවන් මෙන්ම දෙමවුපියෝ ද දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

මෙරට ආර්ථිකය කඩාවැටී භාණ්ඩ හා සේවා ගාස්තු අසීමිතව ඉහළ ගිය, පසුගිය වසර කීපයේදී බොහෝ අමතර පංති ගාස්තු මිල ගණන් ඉහළ දැමීමට, අමතර පංති ගුරුවරුන් කටයුතු කර තිබිණි.

මේ වන විට රටේ ආර්ථික තත්ත්වය යම්තාක් දුරකට යහපත් අතට හැරෙමින් තිබියදීත් අසීමිතව ඉහළ දැමූ අමතර පංති ගාස්තු අඩු කිරීමට බොහෝ ගුරුවරුන් කටයුතු නොකිරීම බලවත් අසාධාරණයක් බව දෙමාපියෝ පවසති.

අමතර පංති ගාස්තු මිල ගණන් ඉහළ දැමීම වැඩි වශයෙන් සිදුවූයේ අපොස උසස් පෙළ පංති සඳහාය. රටේ ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමගම රුපියල් 1000ත් 1500ත් අතර පැවැති අමතර පංති ගාස්තු රුපියල් 3000ත් 5000ත් අතර මිල ගණන්වලින් ඉහළ නැංවීමට අමතර පංති ගුරුවරු කටයුතු කළහ. මෙම මිල ගණන් ඉහළ දැමීමට සමගාමීව අපොස සාමාන්‍ය පෙළ පංති ගාස්තු මෙන්ම, ශිෂ්‍යත්ව පංති ගාස්තු ද විශාල වශයෙන් ඉහළ දැමීමට එම ගුරුවරු පියවර ගත්හ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ට අදහස් දැක්වූ අනෝමා රාජපක්ෂ මහත්මිය මෙසේ කියා සිටියාය.

“මගේ දුව අපොස උසස් පෙළ විද්‍යා විෂයන්වලින් අධ්‍යාපනය ලබන්නෙ. එයා ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබනවා. පාසලේ අපොස උසස් පෙළ පංතිවල අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් පිළිවෙළකට කෙරෙන්නෙ නැහැ.

ඒ නිසා දියණිය අමතර පංතිවලට ගිහින් තමයි එයාගේ අධ්‍යාපන කටයුතු කර ගන්නෙ. ඒත් අපට දරුවාගේ අමතර පංති ගාස්තු වියදම් දරාගන්න බැහැ. මීට අවුරුදු දෙකකට උඩදි තිබුණ වගේ තුන් හතර ගුණයකින් අමතර පංති ගාස්තු මිල ගණන් ඉහළ දාලා.

හැම භාණ්ඩයකම, සේවාවකම මිල ගණන් අඩු වුණත් අමතර පංති ගුරුවරු එයාලගෙ ගාස්තු අඩු කරන්නෙ නැහැ. අපි කාරුණිකව මේ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අමතර පංති ගාස්තු මිල ගණන් අඩු කරලා අහිංසක දරුවන්ට සාධාරණයක් කරලා දෙන්න කියා.”

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment