ඩයලොග් ආසිආටා, භාරතී එයාර්ටෙල් ලංකා තම සමාගම සතු කරගනිමින් ඒකාබද්ධ කිරීම අරඹයි

1

(වමේ සිට දකුණට): ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ආයතනික ලේකම් විරන්ති ආටිගල, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ නීති උපදේශක/සමූහ නීති හා නියාමන පිළිබඳ උප සභාපති ටි්‍රනේෂ් ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරි (වැඩබලන) යැප් වායි යිප්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ ආශිෂ් චන්ද්‍රා, භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගමේ ඒකාබද්ධ කිරීම්, අත්පත් කර ගැනීම් සහ ව්‍යාපාර සංවර්ධන පිළිබඳ සහකාර උප සභාපති රවී ජෙයින්, භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන මුල්‍ය නිලධාරි පංකජ් ගාර්ග්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන වාණිජ නිලධාරී මුනේෂ් ඩේවිඩ් යන පිරිස ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ඩයලොග් ආසිආටා පීඑල්සී (‘Dialog’), ආසිආටා බර්හාඩ් සමූහය (‘Axiata’) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන ‘පාර්ශ්ව’) ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ කොටස් ගනුදෙනුව, ඩයලොග් විසින් භාරතී එයාර්ටෙල් සමාගමේ 100% ක කොටස් ප්‍රතිශතයම අත්පත් කර ගැනීමෙන් අනතුරුව සාර්ථකව නිම කෙරිණි. ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් නිකුත් කිරීම හරහා සිදු කෙරුණු මෙම ගනුදෙනුවෙන් අනතුරුව, 73.75% ක කොටස් ප්‍රතිශතයක් ආසිආටා සමූහය සතුවන අතර, 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගමට හිමි වේ. ඩයලොග් සමාගමේ ඉතිරි කොටස් ප්‍රතිශතය, එනම්, 15.895% ප්‍රමාණය මහජන හිමිකාරිත්වය යටතේ පවතී. මෙම ගනුදෙනුවෙන් පසුව, එයාර්ටෙල් ලංකා, සමාගම් පනතේ අදාළ විධිවිධාන යටතේ ඩයලොග් සමඟ ඒකාබද්ධ කරනු ලබන අතර, එහිදී ඩයලොග් සමාගම ඒකාබද්ධ ආයතනය ලෙස පවතිනු ඇත.

මෙරට විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කෙරෙන මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව, 2023 වසරේ මැයි මාසයේදී මුල්වරට දැනුම් දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් දෙකක සම්පත් හා තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින්, දිවයින පුරාම පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ වඩාත් අසමසම විදුලි සංදේශ අත්දැකීමක් ලබාදීම අපේක්ෂාවයි. මෙරට ඩිජිටල් තාක්ෂණයේ හා ආර්ථිකයේ වර්ධනය උදෙසා මෙමගින් මහඟු දායකත්වයක් සැලසෙනු ඇත.

මෙම ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව, ඩයලොග් සහ එයාර්ටෙල් සන්නාම ද්විත්වය, ස්වකීය පාරිභෝගිකයන් වෙත සුපුරුදු පරිදි අඛණ්ඩව සේවය සලසන අතර, ජාල ඒකාබද්ධ කිරීම ඉදිරි කාලයේදී සිදු කෙරේ. ඒ හරහා පාරිභෝගිකයන්ට හා ව්‍යාපාර සඳහා විශිෂ්ට සේවාවක් සහ අසමසම සම්බන්ධතා විසඳුම් පිරිනැමීම සමාගමේ අපේක්ෂාවයි.

“එයාර්ටෙල් ලංකා සමාගම, ඩයලොග් සමාගම හා ඒකාබද්ධ කිරීමේ කටයුත්තෙහි ප්‍රගතිය සනිටුහන් කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙසින් මෙය සඳහන් කරන්න පුළුවන්. එයාර්ටෙල් ලංකා කණ්ඩායම හා ශ්‍රී ලංකාවේ මිලියන 3 ක එයාර්ටෙල් ජාලයේ ග්‍රාහකයන් සියලු දෙනාම ඩයලොග් පවුල වෙත අපි සාදරයෙන් පිළිගන්නවා. මේ කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා රජයට, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), කොළඹ කොටස් හුවමාරුව (CSE), ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) යන ආයතනවලට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. ඒ වගේම, මෙම ඒකාබද්ධ කිරීමේ කටයුතු සාර්ථක කරගැනීමට සුවිශාල සහයක් ලබාදුන් ආසිආටා හා භාරතී එයාර්ටෙල් කණ්ඩායමට සහ අපගේ සියලු පාර්ශ්වකරුවන්ට ස්තුතිය පිරිනමනවා” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා පැවසීය.

“අපි මෙලෙසින් පරිවර්තනීය ගමන් මඟකට අවතීර්ණ වෙන්නේ, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ දියුණුව උදෙසා ඩයලොග් සහ එයාර්ටෙල් සමාගම් දෙකේ ඒකාබද්ධ ශක්තීන් උපයෝගී කර ගැනීමට අවධානය යොමු කරමින්. මෙම ඒකාබද්ධ කිරීමෙන්, ඉහළම පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමට අමතරව අප රටේ ඩිජිටල් ආර්ථිකයෙහි වර්ධනයක් ඇති කිරීමට හැකි වෙනවා. සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ මෙම පියවර අවධාරණය කරන්නේ, අසමසම සම්බන්ධතාවයන් හරහා දිනෙන් දින ඉදිරියට යන ඩිජිටල් තාක්ෂණයන් මගින් ව්‍යාපාර සහ පුද්ගලයන් බලගැන්වීමට අප දක්වන කැපවීමයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment