ඩිජිටල් තාක්ෂණයට එහාගිය අරමුණු තිබේද?

92

පසුගිය දිනෙක ප්‍රංශයේ පැරිස් නුවර දී 42 වන යුනෙස්කෝ සමුළුව පැවැත්වුණු අතර එම අවස්ථාව ද ලංකාව නියෝජනය කළ දේශපාලකයන් සිඟමන් යැඳීමේ අවස්ථාවක් ලෙස මනාව යොදාගෙන ඇත. එහි දී මෙරට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත චීන අධ්‍යාපන අමාත්‍ය හුවායි ජින් පෙග් හමු වී අයැ ද ඇත්තේ මෙරට ඩිජිටල් අධ්‍යාපනය නඟා සිටු වීමට උදව් උපකාර කරන ලෙසයි. කුමන ආකාරයකින් හෝ ආධාර ලබාදී රටක් අල්ලා ගැනීමට බලා සිටින චීන රජය ද එම ආයාචනය එක පයින් පිළිගත්තේය.

මෙම ආයාචනය ඉදිරිපත් වීමට පෙර ද මෙරට ජනාධිපති චීන රජය සමග තාක්ෂණික අංශයේ ගිවිසුමක් ඇති කරගෙන තිබුණි. ඒ අනුව චීනයේ හුවාවේ ආයතනය ‘ (Huawei Institute) මගින් ලංකාවේ ඩිජිටල් අධ්‍යාපනයට සහාය දැක්වීමට මෙරට රජය හා එකඟතාවය ඇති කර තිබුණි. ඔවුන්ට අවශ්‍ය තව තවත් මෙරටට ඇතුළු වීමට ය. ඒ අනුව චීනයෙන් මෙරටට අවශ්‍ය තාක්ෂණික සහාය, දත්ත ගබඩා, යන්ත්‍ර උපකරණ, පුහුණු ශ්‍රමිකයන් ආදී සියලු සහාය නොබෝ දිනක් යෑමට මත්තෙන් ලබාදෙනු ඇත.

ඒ සමග මෙරටට වන දේ පිළිබඳ සලකා බැලිය යුතු ම ය. වර්තමාන ගෝලීය කරණය වූ ලෝකය තුළ අන්තර්ජාලය යනු මූලික පදනමකි. එය වත්මන් මිනිසාට වාතය, ආහාර හා සමාන වූ තවත් එක් මූලික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එමෙන් ම වත්මන් සමාජය ගොඩනැඟී ඇති අත්තිවාරම වන්නේ ද අන්තර් ජාලයයි. සන්නිවේදනය, ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය, අධ්‍යාපනය, ජාතික ආරක්ෂාව ආදී සියලු සමාජයීය සාදක ගොඩනැඟී ඇත්තේ අන්තර් ජාලය මත ය. චීනය සහාය දෙන මුවාවෙන් මේ ඇතුළු වෙන්නට යන්නේ ඒ මූලික පදනමටයි.

දැනටමත් ලංකාවේ ප්‍රමාණවත් ඩිජිටල් අධ්‍යාපනයක් පවතියි. ඉන් එහා තවත් අවශ්‍ය කුමක් ද? ලංකාවට අවශ්‍ය ව ඇත්තේ මෙවන් ඉතා සංවේදී දත්ත පද්ධතියකට චීනයට ඇතුළු වීමට ඉඩ දීමට ද? චීනයේ දියුණු ඩිජිටල් තාක්ෂණයක් ඇති බව සත්‍ය ය. ඔවුන්ට ශක්තිමත් දත්ත පද්ධතියක්. ඔවුන්ට ම අයත් සෙවුම් පද්ධති, කෘතිම බුද්ධි වැඩසටහන්, මෘදුකාංග, දෘඩාංග ආයතන ආදී සියල්ල පවතියි. ඒ ඔවුන් ඔවුන්ගේ අනාගත ඉලක්කය වන ලොව බලවතා වීමේ සැලැස්මට මනාව සූදානම් වන බැවිනි. අපට එලෙස ඉලක්කයක් නැත. ඇත්තේ සිඟමනට යොදා ගන්නා බෙලෙක්කයක් පමණි.

එමෙන් ම විනය එරට අන් සෑම පාර්ශ්වයක් මෙන් ම දත්ත පද්ධතිය ද දැඩි වාරණයන්ට ලක් කරයි.Weibo,
Wechat, Douyin, Xiaohongshu, Kuaishou, Bilibili, hihu ආදී සමාජ මාධ්‍යවලට පමණක් එරට ඉඩ ප්‍රස්ථාව ඇත. එයින් ද රට තුළට පමණක් ප්‍රතිලාභ අත්කර දීම අපේක්ෂිතය. ලොව ප්‍රමුඛ පෙළේ දුරකථන දෘඩාංග සමාගම් පවා ( Apple) එරට වාරණය කර ඇති අතර එරට ම නිෂ්පාදිත හුවාවේ දෘඩාංග භාවිතයට ජනයාට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. එමෙන් ම වාණිජ වෙබ් අඩවි ද ( Amazon,Uber, Airbnb) වාරණය කරන චීනය රජයට හිතකර වෙබ් අඩවි සඳහා පමණක් අවසර ලබා දී ඇත. එමෙන් ම එරට දෘෂ්‍ය මාධ්‍යවල ප්‍රවෘත්ති පවා පළකළ යුත්තේ රාජ්‍ය නීතිවලට යටත්ව ය. පෞද්ගලික මාධ්‍යවල කෙසේවත් රාජ්‍ය පුවත් පළ කළ නොහැක. එරට සෑම දත්ත පද්ධතියක් ම සකස් වී ඇත්තේ රජයට ඕනෑ ම අවස්ථාවක ඒවාට ඇතුළු වී බැලිය හැකි වන පරිදිය.

Oned China Academy of Information and Communication Technology (CAICT)

ආයතන ප්‍රකාශයට අනුව සෑම වසරක ම චීන ඩිජිටල් වෙළෙඳ පොළ 39.8%කින් ශීඝ්‍රයෙන් වර්ධනය වන අතර 2025 වනවිට ලෝකයේ දත්තවලින් 30%ක් අත්පත් කරගෙන දත්තවලින් පොහොසත් ම රට වීම ඔවුන්ගේ අරමුණ කරගෙන ඇත. එපමණක් නොව, ඔවුන්ගේ 14 වැනි පස් අවුරුදු සැලැසුම නම් සැලැසුමට අනුව අනාගතයේ දී චීන ඩිජිටල් ප්‍රතිපත්ති මත අන් රාජ්‍යයන් හි ඩිජිටල් පද්ධති ත්‍රියාත්මක කරවීම යන්න ද ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි යමෙකු පවසතොත් එවැනි සැකයක් ඇතිවීම අරුම නොවේ.

මේ ඉලක්කවලට අප දැනටමත් හසු වෙමින් පවතියි. ඇතැම් එවිට අපහට අධ්‍යාපනය මෙන් ම දුරකථන ඇමතුමක්, කෙටි පණිවිඩයක් හෝ ඡායාරූපයක් ගැනීමට යම් රටක අවසරය ලැබෙන තෙක් බලා සිටීමට සිදුවනු ඇත. එපමණක් ද නැත. ඔවුන් යටත් වූවාට පසු යටත් වූවාමය. අතීතයේ සිදු කළාක් මෙන් කැරලි ගසා, සටන් කර එම යටත් විජිත භාවයෙන් මිදීමට නොහැකි වනු නිසැකය.

මෙම සඳහන හුදෙක් ලියුම්කරුගේ අදහස් දැක්වීමක් පමණකි.

ආචාර්ය
විමල් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment