ඩුබායිවල සැඟවී පාතාලය පොලීසියට තග දමයි!

622

පාතාල කල්ලි මර්දනයට සක්‍රීයව දායක වී සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ නිලධාරීන් රැසකට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල නායකයන්ගෙන් දිගින් දිගට ම තර්ජන එල්ල වෙමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ මූලිකත්වය ගෙන කරගෙන යන මෙහෙයුම් නතර කිරීම සඳහා මෙම පාතාල නායකයන් මෙසේ තර්ජන එල්ල කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියා සිටියි.

දකුණේ පාතාලය මර්දනය කිරීමේලා අමිල සේවයක් කළ අම්බළන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති බාලේන්ද්‍රසිංහ මහතා ද ඒ ආකාරයට පාතාලයෙන් දිගින් දිගට ම මරණීය තර්ජනය එල්ල වූ නිලධාරියෙකි.

පාතාල මර්දනයට එක්ව සිටින පොලිස් නිලධාරීන් භීතියට පත්කර ඔවුන් අකර්මන්‍ය කිරීම සඳහා මෙම නිලධාරියා වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙරට පාතාලය මෙහෙයවන පාතාල නායකයන් ඇතුළු දරුණු අපරාධකාරයෝ 50 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට ආරක්‍ෂිතව ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ දකුණේ පාතාලය පෙර කොයිම කාලයකවත් නොවූ විරූ අන්දමින් සක්‍රීය වී ඇති බවයි.

පොලිස් නිලධාරීන් පවා වෙඩි තබා ඝාතනය කරන තත්ත්වයට පාතාල මැරයන් ශක්තිමත් වී ඇති බවත් මේ තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වූවොත් ඉදිරියේ දී පොලිස් ස්ථාන තුළට පවා කඩා වැදී පාතාල මැරයන් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට ඉඩ ඇති බවත් එම නිලධාරියා කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment