ඩොලර් සොයාගෙන ඉක්මණින් රුපියල ස්ථාවර කරගන්නවා

394

ඇමෙරිකානු ඩොලර් බිලියනයත් දෙකත් අතර ප්‍රමාණයක් විදේශ විනිමය වශයෙන් මහ බැංකුවට ලබාගෙන ඉතා ඉක්මනින් රුපියල ස්ථාවර කර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමැති අලි සබ්රි මහතා පෙරේදා (22 දා) ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ සිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය අමතමින් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඔවුන්ගෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට යම් කාලයක් ගතවන බවත්, එම කාලයේදී රටේ අත්‍යවශ්‍ය ආනයන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන තුනත් හතරත් අතර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් ඇමැතිවරයා කීවේය.

මෙයින් ඉතා ඉක්මනට ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව වෙත ලබා ගැනීමට අවශ්‍ය බවත්, ඒ හරහා වේගයෙන් පිරිහෙන රුපියල ස්ථාවර කර ගැනීම ඉතා අවශ්‍ය බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතරින් ඉන්දියාවෙන් ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම දැන් ඉන්දියාව සලකා බලාගෙන යන බවත් තෙල් සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආධාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බවත් ඔහු සඳහන් කළේය.

අයිඑම්එෆ් මූල්‍ය පහසුකම ලැබෙන තෙක් අවශ්‍ය මුදල් සොයා ගැනීමට ද්විපාර්ශ්විකව රටවල් සමඟ සහ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය ආයතන සමඟ ද සාකච්ඡා කරගෙන යන බව ද මුදල් ඇමැතිවරයා කීවේය. මින් ලෝක බැංකුවෙන් ඉදිරි සතියත්, මාස හතරත් අතර කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පමණ මුදලක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment