ණය ගිවිසුම් විවාදය 2-3 දිනවල

1

ජනපතිගෙන් 2 වැනිදා මැතිසබයට විශේෂ ප්‍රකාශයක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28 දා) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

මේ අනුව ජූලි 2 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව 5.00 දක්වා විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. එසේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එදින පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

ජූලි 3 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. අනතුරුව ප.ව 5.00 මෙම යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධන කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවසරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙත ලබාදීමට මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment