දකුණතින් පාදඟ පන්දු යවන යෞවන ක්‍රීඩක විග්නේශ්වරන්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත් චාමික හීනටිගල, කවිජ ගමගේ සහ සෙනුජ වැකුණුගොඩ පිතිකරණයේදී දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යෞවනයන් අතර පැවැති තරගයෙන් ලකුණු 98ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යෞවනයෝ සමත්විය. ඒ අනුව තරග 6කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.
පෙරේදා (26 දා) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 241ක් ලබාගැනීමට සමත් වුවද, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 33යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 143ක් පමණි.
ඒ අනුව ලකුණු 98ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකා යෞවනයන්ට හිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී චාමික හීනටිගල නොදැවී 78, කවිජ ගමගේ නොදැවී 60, සෙනුජ වැකුණුගොඩ ලකුණු 50ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ඉක්බාල් හුසේන් ලකුණු 42කට කඩුලු 2ක්, රිසාන් හුසේන් ලකුණු 29කට කඩුලු 2ක් දවාලීය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කලාම් සිද්ධික් ලකුණු 46ක්, අසිසුල් හකීම් ලකුණු 24ක් සහ එම්. ඩී. අබ්දුල්හ් ලකුණු 17ක් ලැබීය.
පන්දු යැවීමේදී කූගදාස් මාතුලන් ලකුණු 30කට කඩුලු 2ක්, විගේනේශ්වරන් ආකාශ් ලකුණු 35කට කඩුලු 5ක් සහ කිත්ම විදානපතිරණ ලකුණු 17කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස විගේනේශ්වරන් ආකාශ සම්මාන ලැබූ අතර දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින තරගය අද (28 වැනිදා) කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.
සිසිර ඉන්ද්‍රජිත්