තව කලකට කල් තැබිය යුතු වාහන චූන් එක

1005

ශ්‍රී ලංකා රේගුවේ අපේක්ෂිත බදු ආදායම 20% න් අඩුවී තිබේ. කොරෝනා වසංගතය, ඩොලරයේ මිල නැගීම, භාණ්ඩාගාරය හිස්වීම, වාහන ගැනීමට තබා පාන් ගැනීමටවත් සල්ලි නැතිවීම යන කාරණා නිසා වාහන මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට සිදුවිය. මේ නිසා ගතවූ අවුරුදු 3 ක පමණ කාලයේදී රේගු ආදායම පල්ලම් බැස්සේය. රේගුවට ආදායමක් එන්නේ රට තුළට පිටරටින් භාණ්ඩ ගෙනාවොත් පමණි. භාණ්ඩ ගෙන ඒම අඩු කරන ලද්දේ හෝ නවත්වන ලද්දේ නම් රේගුව ෆුල් හොල්මන් වෙයි. මේ අතර රටේ ආර්ථික තත්ත්වය යම් ප්‍රමාණයකින් යහපත් අතට හැරීම නිසා නැවත වතාවක් පිටරටින් වාහන ගෙනවුත් මෙහි විකිණීමට හැකි බව කාර් සේල්කාරයන්ගේ මතය වී තිබේ. මෝටර් රථ පිටරටින් ගෙන්වීමේදී ඒ සඳහා විදේශ සංචිත වැය වේ. එහෙත් ඒවා වැයකොට ගෙනෙන බඩු රට තුළට ඇතුල් කිරීමේදී බදු වශයෙන් ලැබෙන්නේ ඩොලර් නොව මහින්ද රාජපක්ෂ අත් දෙක ඔසවාගෙන සිටින රූපය හෝ විදුලි බලාගාරවල සහ කුරුල්ලන්ගේ පිංතූර හෝ උඩරට නැට්ටුවන් හෝ සිටින දේශීය මුදල්ය. අප පිටරටකට ගිය විට මේ දේශීය නෝට්ටුවලින් කළ හැක්කේ කඩල ගොටු ගැසීම පමණි. ඉන් එහා කිසිදු වැදගත්කමක් දේශීය මුදල්වලට නැත. එහෙත් ලංකාවේ දේශසීමාව තුළ එදිනෙදා වැඩකරගෙන යෑම සඳහා මේ දේශීය මුදල් අවශ්‍ය ය. ඒ නිසා දේශීය ආදායමේ අවශ්‍යතාව නිතැනින්ම මතුවෙයි. ආණ්ඩුව පසුගියදා විදුලි බිල වැඩි කිරීමෙන්ද, වතුර බිල වැඩි කිරීමෙන්ද, බදු වැඩි කිරීමෙන්ද කළේ මේ දේශීය මුදල් සංචිතය තරකර ගැනීම ය. වාහන මෙරටට ගෙන්වා විකුණන ව්‍යාපාරිකයන් කියන පරිදි දැනට ඇති නීති රීතිවලට අනුව පිටරටවලදී අවුරුදු තුනකට වඩා පැද්ද වාහන මෙරටට ගෙන්වීම තහනම් ය. එයට හේතුව අවුරුදු තුන පැන්න ගමන් වාහනවල කාබන් විමෝචනය සහ තෙල් පිච්චීම, අබලන් වීමට ඇති ඉඩකඩ යනාදිය වැඩිවීමය. ඒ අතර වාහන මෙරටට ගෙන්වන්නන්ගේ සංගමය රජයට අලුත් යෝජනාවක් කර තිබේ. එනම් අවුරුදු සීමාව ඉක්මවා අවුරුදු හතක් පාවිච්චි කළ වාහන පිටරටින් ගෙන්වීමට ඉඩදෙන ලෙසය. අවුරුදු තුනක් පැද්ද වාහන එකක් ගන්නා මිලට අවුරුදු හතක් පැද්ද වාහන තුනක් ගැනීමට පුළුවන් බව එම සංගමය කියයි. එහිදී අඩු මිලට වාහන විකිණිය හැකිය. එවිට වැඩි දෙනකු අතට වාහන යෑම සිදුවෙයි. ඊට සමගාමීව වාහන මෙරටට ගෙන්වීමේ බිස්නස් එකද කරගෙන යෑමට පුළුවන්ය. මෙහිදී වාහන ගෙන්වන්නන්ගේ සංගමය සිත්ගන්නාසුලු කතාවක් කියා තිබේ. එනම් අතේ ඩොලර් නැතත් විවිධ ක්‍රෙඩිට් ලයින් හරහා වාහන ගෙන්වීමේ හැකියාවක් ඇති බව ය. ඒ අනුව මෙය දෙන්නම් කාසි ක්‍රමය හරහා කළ හැකි වැඩකි. වාහන මෙරටට ගෙන්වීමේ සංගමය සමග අපේ කිසිදු ආරවුලක් නැත. මේ රටේ ජනයා දැරිය හැකි මුදලකට රීකන්ඩිෂන් කාර් එකක් ගෙන පදවන්නේ මේ සංගමය නිසාය. එහෙත් ක්‍රෙඩිට් ලයින්වලට වාහන ගෙන්වීම පිටුපස වෙනම කතාවක් තිබේ. ක්‍රෙඩිට් ලයින් මගින් කළු සල්ලි සුදු කළ හැක. එමතුදු නොව එම සල්ලිවලට සිල් රෙදි ඇන්දවීම ද කළ හැකිය. එවිට පිටතින් බලන කෙනකුට පෙනෙන්නේ මේ සල්ලි සිල්ගෙන සිටින බවකි. එහෙත් ඇත්ත ක්‍රෙඩිට් ලයින් එක ඇතුලේ හවාලා සහ උන්ඩියල් නමැති නීති විරෝධී මුදල් විශුද්ධිකරණ වැඩපිළිවෙළ තිබේ. සමහරවිට හවාලා සහ උන්ඩියල් මාර්ගයෙන් පිටරටවල එකතු කරන ලද ඩොලර් කෝටි ගණනක් මේ මොහොතේ රහසිගතව සැඟවී සිටිනවා වන්නට පුළුවන. ඒවා ක්‍රෙඩිට් ලයින් යැයි කියමින්, ඒ හරහා වාහන ගෙන්වීමට ද පුළුවන. වාහන ආනයනකරුවන්ගේ සංගමය රජය සහ ආර්ථිකය රවටා වංගුවක් ගහන්නට යන බව අප මොහොතකටවත් නොකියමු. රජයට සහ ආර්ථිකයට රැවටෙන්නට තරම් තවත් ඉඩක් ඉතිරි වී නැත.

මීට කලකට පෙර රජය මගින් ආනයන තහංචි කිහිපයක් පනවන ලදි. මේ යටතේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ දහස් ගණනක් මෙරටට ගෙන්වීම තාවකාලිකව තහනම් කරනු ලැබීය. ශ්‍රී ලංකාව යනු හිටපු ගමන් අඹ වැනි පලතුරු පවා පිටරටින් ගෙන්වන රටකි. මේ රටේ චොකලට් සහ වෙනත් රසකැවිලි ඕනෑ තරම් නිෂ්පාදනය කළ ද ඒවා ද පිටරටින් ගෙන්වනු ලැබේ. සෑම සුපර් මාර්කට් එකකම පිටරටින් ගෙන්වූ එළු මස් ඇත. එසේම පැකට් කරන ලද කැබලි කැපූ එළවළු ද ඇත. කැරට්, බෝංචි, බඩඉරිඟු, ග්‍රීන් පීස් වැනි මේ එළවළු සිල්ලර කඩේ අඩු මිලට තිබුණත් ආනයන බදු සහ වෙනත් බදු ගෙවා පිටරටින් මෙරටට ගෙන්වන්නේ මොන මඟුලකටදැයි අපට නොතේරේ. කොතරම් දැඩි බද්දක් පැන වුවද පිටරටින් ගෙනෙන ඇපල්, මිදි, දොඩම්, පෙයාස් සහ පලතුරු යුෂ අපේ රටේ සුපර් මාර්කට්වල ඕනෑ තරම් ඇත. නත්තල් කාලයට ඉම්පෝටඩ් ටර්කි සහ ඉම්පෝටඩ් ඩක් (කළුකුම් මස් සහ තාරා මස්) සුපර් මාර්කට්වල විකිණීමට ඇත. ලංකාවේ අයිස්ක්‍රීම් කොපමණ හැදුවත් ඉම්පෝටඩ් අයිස්ක්‍රීම් අපමණ තිබේ. දේශීය බටර් සහ දේශීය චීස් නිෂ්පාදනය කරන සමාගම් අවම වශයෙන් පහක්වත් ලංකාවේ ඇත. එහෙත් ඒ සියල්ල සමග සම සමව තරග කරමින් විදේශීය බටර් සහ විදේශීය චීස් සුපර් මාර්කට්වල පුරවා ඇත. කොරෝනාවෙන් ආර්ථිකයට කෙළවුණා කියා මේ බඩු මෙරටට ගෙන ඒම කිසි කලෙකත් 100% ක් නැවතුනේ නැත.

අපගේ අදහස වන්නේ තවත් සෑහෙන කලක් මේ රටට ආනයන සම්බාධක පැනවිය යුතු බවය. IMF ලෝන් එක ලැබුණු චූන් එක නිසා හෝ ඉදිරියේදී ලැබෙන්නට යන විදේශ ණයවල චූන් එකෙන් හෝ ඇස් නිලංකාර කරගෙන කටයුතු කිරීම මේ රටට නොගැලපේ. සෑම කල්හිම අප කළේ නිසි ආකාරව ප්‍රතිකාර නොකරන ලද මානසික රෝගීන් සුව වූවන් සේ සලකා වේලාසනින්ම සමාජයට මුදාහැරීම ය. 1948 සිටම අපි එහි ඵල විපාක භුක්ති විඳිමු.

advertistmentadvertistment
advertistmentadvertistment