තායි සිට හොරෙන් දෙකෝටි හැත්තෑ ලක්‍ෂයක රත්‍රං ගෙනා ව්‍යාපාරිකයා රිමාන්ඩ්

129

රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14 ක් නීති විරෝධී ලෙස තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයකු පෙරේදා (27 දා) කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

මාකොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයකු වන මෙම පුද්ගලයා පෙරේදා සවස 03.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක් ලෝහ අනාවරක (Metal Detector) යොදා ගනිමින් පරීක්ෂා කළ අතර එහිදී ඒවා තුළ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 314 ක් බරැති රන් බිස්කට් 14 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

සැකකාර ව්‍යාපාරිකයා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල


advertistmentadvertistment