රෙද්ද හැට්ටේ ඇඳලා ටෙලියක රඟපාන්න ආසයි

මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ live @ 8 ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසිනුත් විවිධ චරිතයන්ට පණ පොවන රංගන ශිල්පිනියක ලෙසිනුත් පුංචි තිරය තුළිනුත් රිදී තිරය තුළිනුත් ආදරණීය ප්‍රේක්ෂක ඔබ හමුවට එන ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත් සුරූපී රංගන ශිල්පි චතූ රාජපක්ෂ සමගිනුයි මේ කතාබහ ඇරඹෙන්නේ.

චතූ මේ දවස්වල ජීවිතේ කොහොමද?

මේ දවස්වල හොඳින් ඉන්නවා. ගොඩක්ම කාර්යබහුලත් නැහැ. ඒ නිසා විවේක සුවයෙන් ඉන්නවා.

තැනට සුදුසු විදිහට සංවරව අඳිනවා - චතූ රාජපක්‍ෂ

රංගනයෙන් දායකවුණ අලුත් නිර්මාණ මොනවද?

ටෙලි නාට්‍යයක රූගත කිරීම් කරන ගමන් ඉන්නේ. රූගත කිරීම් හැමදාමත් නැහැ. සති දෙක තුනකට සැරයක් තමයි රූගත කිරීම් තියෙන්නේ. ඒ නිර්මාණය ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තවත් ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා.

සිනමාවටත් ආරාධනාවක් ලැබුණා කියන්නේ?

ඔව්. එක සිනමා පටයකට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි ඒක තවම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

රංගන ජීවිතය තුළ “මේ වගේ චරිතයක් කරන්න තිබුණ නම් කියලා හීන දකින විශේෂ චරිතයක් තියෙනවද?

ඔව්. හැමදාම මම කියන එකක් තමයි, කොටස් කිහිපයක් තියෙන, ගොඩක් පරණ කාලේ, දැනට අවුරුදු 50කට 60කට කලින් වගේ පීරියඩ් ඩ්‍රාමා එකක රෙද්ද හැට්ටේ ඇඳලා රඟපාන්න මම හරිම කැමැත්තෙන් ඉන්නවා. මට තවම ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මම හිතනවා මම රංගන ජීවිතයෙන් සමුගන්න කලින් මට ඒ අවස්ථාව ලැබුණොත් හොඳයි කියලා.

රංගන ශිල්පිනියක් විදිහට විතරක් නෙවෙයි, දැන් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කරනවනේ. අපි ඒ ගැනත් කතා කරමු?

ඔව්. මම කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් විදිහට ජනතාව අතරට එන්න කලින් තමයි සිරස නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ප්‍රේක්ෂකයන් අතරට ආවේ. ඉතින් ඊට පස්සේ මම ප්‍රවෘත්ති නිවේදනයෙන් අවුරුදු හතරක් විතර නිහඬ වෙලා හිටියා. ඒ කාලෙත් හැමෝම කිව්වේ ආයේ ප්‍රවෘත්ති කියන්න එන්න කියලා. ඒ නිසා මම හිතුවා ආයේ වැඩ පටන් ගන්න ඕනෑ කියලා. දැන් ස්වාර්ණවාහිනි නාළිකාවේ live @ 8හි ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් මේ දිනවල වැඩකටයුතු කරනවා.

තැනට සුදුසු විදිහට සංවරව අඳිනවා - චතූ රාජපක්‍ෂ

රංගන ශිල්පිනියකට පුළුවන්ද ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න කියලත් ඇතැම් අය කියනවා. ඒ ගැන මොකද කියන්නේ?

මෙහෙමයි, රංගන ශිල්පිනියක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒ කෙනාට ඒ දක්ෂතාවය නැත්නම් කොහෙත්ම මේ අවස්ථාව එයාට හිමි වෙන්නේ නැහැ. ලංකාවේ නළු නිළියන් බොහොමයක් හිටියත් හරිම සීමිත ප්‍රමාණයකට තමයි ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ තෝරගත්තේ කටහඬ, පෞරුෂත්වය මේ හැමදේම බලලා. ඉතින් එහෙම පස්දෙනෙක්ටත් අඩු ප්‍රමාණයක් තමයි ගත්තේ. ලංකාවෙන්ම ඒ පස්දෙනා අතරට එන්න ලැබුණු එකත් ඇත්තටම මගේ ලොකු වාසනාවක්.

ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා කියන්නේ ලෙහෙසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. වගකීම් රැසක් පැවරිලා තියෙනවා නේද?

ඔව්.අනිවාර්යයෙන්ම.අපි සාමාන්‍යයෙන් වැඩසටහනක් නිවේදනය කරනවා වගේ නෙවෙයි, එතැනදී ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් ප්‍රවෘත්තියක් කියද්දී රටේ -ලෝකයේ සිදුවුණු යම් සිදුවීමක් තමයි කියන්නේ. එතැනදී එක අකුරක් හරි එහා මෙහා වුණොත් ඒකෙන් එන අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා ඒක ලොකු රිස්ක් එකක්. අපි සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් අවධානයෙන් ඉන්නත් ඕනෑ. ඒක ඇත්තටම ලොකු අභියෝගයක්.

ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. ගොඩක් අය කියනවා නිව්ස් රීඩ් කරනවාට ආසයි, දිගටම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ඉන්න කියලා. තව සමහරු කියනවා රංගන ශිල්පිනියක් විදිහට දකින්න කැමතියි කියලා. ඉතින් මේ දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ආදරණීය ස්වාමිපුරුෂයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද? නීති රීති එහෙමත් දානවද?

ඇත්තටම එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ වැඩවලදී කොහෙත්ම එයා මට නීති රීති දාන්නෙ නැහැ. එයා මට කියන්නෙ ඔයාට මේ දේ කරලා ඇතිනම් ඔයා ඕනෑම වෙලාවක නතර වෙන්න,මට ඔයාව බලාගන්න පුළුවන් සහ ඔයාට හැමදේම තියෙනවනේ, ඔයා මහන්සිවෙන්න එපා කියලා. හැබැයි මම මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ.

චතූ ෆැෂන් කරන්නෙත් තෝරාබේරාගෙනද?

අනිවාර්යයෙන්ම. ෆැෂන් කරන්නේ තෝරා බේරගෙන. සමහරු කියනවා ඔයා කෙට්ටු නිසා ඕනෑ ඇඳුමක් අඳින්න පුළුවන්නේ, ලස්සනයි කියලා. ඒ කොච්චර ලස්සන වුණත් මම ඕපන් ඇඳුම් අඳින්නේ නැහැ. මම මටම බැරියර් එකක් දාගෙන තියෙන්නේ. මගේ කීර්ති නාමයට වගේම පවුලේ අයටත් කිසිම කැළලක් වෙන විදියේ ඇඳුම් අඳින්නේ නැහැ කියලා. තැනට සුදුසු විදිහට ලස්සනට, සංවරව අඳිනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ නිලන්කා ආන්ටි, නිසලී, නුවන් අයියා සහ ඔමාල් මල්ලීව. එයාලා තමයි මම කැමැති විදියේ ලස්සන ඇඳුම් මට නිර්මාණය කරලා දෙන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment