තිස්වසරක යුද්ධයෙන් රට බේරාගත් රණවිරුවන් සිහිපත් කිරීම කළ ගුණදත් ජාතියේ යුතුකමක් – දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි

2
මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි බෙංගමුවේ නාලක අනුනායක හිමිපාණන්, තුරුවිල විමල ධම්ම හිමිපාණන්, අඟුරුගල්ලේ ජිනානන්ද හිමිපාණන් වහන්සේ සහ නෙම්සිරි ජයතිලක මහතා.

රණවිරුවන්ට උපහාර පිදීමේ උත්සවය හෙට තිස්සමහරාම රජමහා විහාරයේදී

තිස්වසරක යුද්ධයෙන් නිදහස ලබා දහසය වසරක් සපිරෙන මැයි මස 18 වැනිදා (හෙට) ඒ නිමිත්තෙන් රණවිරුවන්ට උපහාර පිදීමේ උත්සවයක් ඓතිහාසික තිස්සමහරාම රජමහා විහාරයේදී පැවැත්වීමට දේශප්‍රේමී භික්ෂු පෙරමුණ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, රුහුණු රට භික්ෂු පෙරමුණ සහ චින්තන පර්ෂදය එක්ව කටයුතු සංවිධානය කර ඇත.

මෙම රණවිරු සැමරුම් උත්සවය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පෙරේදා (15 දා) උදෑසන කැලණිය පට්ටිය හංදියේ පඤ්ඤානන්ද ධර්මායතනයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍යපාද බෙංගමුවේ නාලක අනුනායක හිමිපාණන් වහන්සේ මෙසේ පැවසීය.

“අප්‍රමාණ සිවිල් වැසියන් මෙන්ම අසීමාන්තික වීරෝධාර රණවිරුවන් පිරිසකගේ ජීවිත බිලිගත් අපේ රටේ සංවර්ධනය වසර තිහක් ආපස්සට දැමූ තිස්වසරක යුද ශාපයෙන් මේ රට බේරාගත් වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම කළ ගුණදත් ජාතියක් වන අපේ වගකීමයි. 16 වැනි යුද ජයග්‍රහණය සැමරීම සඳහා අපි මෙවර ඓතිහාසික තිස්සමහරාම රජමහ විහාරස්ථාන පිංබිම තෝරා ගත්තේ දුටුගැමුණු රජතුමා සිහිපත් කරමිනුයි.

හෙට (18 දා) උදෑසන 7.30ට මෙම රණවිරු උපහාර පිංකම තිස්සමහරාම රජමහ විහාරස්ථානයේ දී විහාරාධිපති පූජ්‍යපාද දේවාලේගම ධම්මසේන හිමිපාණන් වහන්සේගේ මූලික අනුශාසනා මත පැවැත්වීමට නියමිතය.

මෙම පිංකමට සහභාගී වන ලෙස එවකට රටේ සේනාධිනායකයාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකටද ආරාධනා කර තිබෙනවා.

කෘතවේදී මිනිසුන් ලෙස අපි අතින් මේ වගකීම ඉටුවිය යුතුයි. අද අපි නිදහසේ හුස්ම ගන්නේ මේ රටේ වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා දුන් නිසයි.

මෙම වීර ක්‍රියාවට කෘතගුණ සැළකීමට කැමති රටේ සෑම පුරවැසියෙකුටම මෙම පිංකම සඳහා එක්ව ලක් මාතාවගේ සුජාත දූ දරුවන් ලෙස තම යුතුකම ඉටුකර යුද බිමේදී මියගිය වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටිනවා” යැයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය පාද බෙංගමුවේ නාලක අනුනායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

මෙම මාධ්‍ය සාකච්ඡාවට දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති තුරුවිල විමලධම්ම හිමිපාණන් වහන්සේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය පාද අඟුරුගල්ලේ ජිනානන්ද හිමිපාණන් වහන්සේ සහ චින්තන පර්ෂදයේ භාණ්ඩාගාරික කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා ද තම අදහස් දක්වමින් කතා කළේය.

එදින උදෑසන 7.30ට මව්බිමේ ඒකීය භාවය පතා යුද බිමේදී දිවිපිදූ සුවහසක් රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් සහ රෝගාතුරව සහ සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටින රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද බෝධි පූජාවක් පූජ්‍ය පාද පදලංගල ධම්මදින්න හිමිපාණන් වහන්සේ විසින් පැවැත්වීමට නියමිතය.

කැලණිය – මංගලා මදුරප්පෙරුම


advertistmentadvertistment