තිළිණිට නොදෙවෙනි තවත් ගේම් දෙකක් කොළඹින් සහ පොලොන්නරුවෙන්

2371

චීන ජාතික යුවලකුත් හවුල්

දැනට කෝටි 1700කට විදලා

තිළිණි ප්‍රියමාලි සිද්ධියේ උණුසුම මැකී යන්නටත් පෙර තවත් එවැනි සිද්ධීන් දෙකක් මෙරටින් වාර්තා විය. ඒ කොළඹ සහ පොළොන්නරුව ප්‍රදේශවලින්ය. චීන ජාතික යුවළක් සහ මෙරට පුද්ගලයකු ක්‍රිප්ටොකරන්සි එකතු කරන මුවාවෙන් කොළඹ සිට රුපියල් කෝටි 1400 කට ආසන්න මුදලක් වංචා කර තිබේ. එයට අමතරව පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයකු මුදල්වලට ඉහළ පොලී ප්‍රතිශතයක් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි 300 ක මුදලක් වංචා කර තිබේ. එම සිද්ධි දෙක පිළිවෙළින් මෙසේය.

චෑන් සහ ෂුආන් චීන ජාතික යුවළකි. තරුණ වයසේ පසුවන මොවුන් දෙදෙනා පෙම්වතුන් වන අතර ෂැංහයි නගරයේ පදිංචිකරුවෝ වෙති. කිහිප වරක් මොවුන් මෙරටට පැමිණ තිබේ. ඒ දැනට වසර කිහිපයකට ඉහතදීය. එලෙස පැමිණි අවස්ථාවක ශාමල් කීර්ති බණ්ඩාර නැමැති පුද්ගලයකු චීන ජාතික යුවළට මුණගැසුණි. එලෙස මුණගැසී සති කීපයක් ගතවෙද්දී ඔවුන් තිදෙනා ගජ මිතුරන් බවට පත්විය. දිනක් කොළඹ අවන්හලකදී මුණගැසී ඔවුන් තිදෙනා මෙලෙස කතාබස් කළහ.

“කීර්ති අපි දෙන්නා ආසයි ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න.”

“ඒක කොච්චර හොඳ අදහසක් ද?”

“ඒක අපි දෙන්නට තනියෙන් කරන්න බැහැ. ඔයාගෙත් උදව් ඕන.”

“හරි මම ඕන උදව්වක් කරන්නම් ඒ ගැන බය වෙන්න එපා. දැන් මොන වගේ බිස්නස් එකක් ද පටන් ගන්න යන්නේ චෑන්.”

“ඔයා අහලා තියෙනවද ක්‍රිප්ටොකරන්සි ගැන.”

“මම අහලා තියෙනවා.”

“ඒක තමයි දැන් අලුත්ම බිස්නස් එක. අපි අද හෙටම පටන් ගමු.”

“හරි ප්‍රශ්නයක් නැහැ. මගෙන් වෙන්න ඕන ටික කියන්න මම ඒ ටික කරලා දෙන්නම්.”

“අපි මේ රට ගැන වැඩිය දන්නෙ නැහැනෙ. ඔයා තමයි අපිට මේකට සම්පූර්ණයෙන්ම උදව් කරන්න ඕන.”

“චෑන් ඔයා කියන්න කරන්න ඕනෙ මොකක්ද කියලා.. මම ඒ ටික අකුරටම කරලා දෙන්නම්.”

“අපේ බිස්නස් එක පටන් ගන්න හොඳ තැනක් හොයාගන්න ඕන මුලින්ම. ඒක ඔයාට කරන්න පුළුවන් නේද?”

“හරි මම හොඳ තැනක් හොයා දෙන්නම් ඔෆිස් එක දාන්න.”

“හරි ඊට පස්සෙ කරන්න ඕන වැඩ ටිකත් අපි කියන්නම්. ඔයා වගේ එක්කෙනෙක් අපිත් එක්ක ඉන්න එක ලොකු හයියක් කීර්ති.”

“ඒ ගැන වැඩිය හිතන්න එපා. මටත් මේක ලොකු චාන්ස් එකක්නේ.”

සති කිහිපයක් ගත විය. කීර්ති බණ්ඩාර ඔවුන්ගේ ව්‍යාපාරයේ කාර්යාලය දැමීම සඳහා කොළඹ ප්‍රදේශයේ ස්ථානයක් තෝරා ගත්තේය. ඉන්පසු චීන ජාතික යුවළ සමග එකතු වී 2020 වර්ෂයේදී “ස්පොට් චේන්” නමින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔවුන් එම ව්‍යාපාරය පිටතට පෙන්වූයේ කිප්ටොකරන්සි මිලදී ගැනීමේ ව්‍යාපාරයක් ලෙසින්ය. ඒ සඳහා අවශ්‍ය පරිගණක මෘදුකාංගයක් ද මොවුන් තිදෙනා නිර්මාණය කළහ. ගනුදෙනුකරුවන්ට පෙන්වීම සඳහාය. එහෙත් ඇත්තටම එය තුළ සිදුවූයේ පිරමීඩ ජාවාරමකි.

“ස්පොට් චේන්” ව්‍යාපාරය ආරම්භ කර මාස කීපයක් ගත වූ පසු චීන ජාතික යුවළ සහ කීර්ති ඒ පිළිබඳව විවිධ අයුරින් මෙරට තුළ පුළුල් ප්‍රචාරයක් ලබා දුන්හ. එම ප්‍රචාරයට රැවටුණු විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ඔවුන් මුණගැසීමට පැමිණියහ. ඒ මුදල් ආයෝජනය කිරීම සඳහාය. එලෙස පැමිණෙන පුද්ගලයන්ව මොවුන් තිදෙනා තරු පහේ හෝටල් තුනකට රැගෙන ගොස් සාකච්ඡා පවත්වා තම ව්‍යාපාරය ආයෝජනය කිරීම මගින් අධික ප්‍රතිලාභයක් ලබාගත හැකි බව පෙන්වා දුන්හ. ඔවුන්ගේ එම බසට රැවටුණු පුද්ගලයෝ කිසිදු බියක් සැකක් නොමැතිව කෝටි ගණන් මුදල් ආයෝජනය කළහ.

වසර දෙකක් පමණ එලෙස ගත විය. චීන ජාතික යුවළ සහ කීර්ති බණ්ඩාර කිසිදු බියක් සැකක් නොමැතිව විවිධ තරාතිරමේ පුද්ගලයන් අට දහසක් පමණ රවටා රුපියල් කෝටි 1400ට අධික මුදලක් ඒ වන විටත් වංචා කර තිබුණි.

දැනට මාස කිහිපයක සිට සමහර ආයෝජකයන්ට මෙම ව්‍යාපාරය පිළිබඳ සැක සිතුණි. ඒ අනුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කළේය. පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු “ස්පොට් චේන්” නැමති මෙම ව්‍යාපාරය ගැන විමර්ශනයක් පැවැත්වූහ. එහිදී අනාවරණය වූයේ මෙය පිරමීඩ ආකාරයෙන් පවත්වාගෙන යන නීති විරෝධී ව්‍යාපාරයක් බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිය චීන ජාතික යුවළ සහ ශාමල් කීර්ති බණ්ඩාර නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වූහ. පළමුව කීර්ති බණ්ඩාර නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේය. එලෙස අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ චීන ජාතික යුවළ මෙරටින් පැන යෑම සඳහා උත්සාහ දරන බවය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු කටුනායක ගුවන්තොටුපළේ දී මෙලෙසින් පැන යෑම සඳහා උත්සාහ කළ චීන ජාතික යුවළ අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ මෙරට විවිධ තරාතිරම්වල පුද්ගලයන් අටදහසක් පමණ රවටා රුපියල් කෝටි 1400කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි.

මෙම ව්‍යාපාරයට සම්බන්ධවූ පුද්ගලයන් අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවන්හිදී ඉහළ සිට පහළට පැවති සම්බන්ධතාවන් බිඳ දමා පිරමීඩයේ පහළම දෙදෙනා අතර පමණක් සබඳතා පවත්වාගෙන යමින් මොවුන් තිදෙනා මෙම වංචනික ක්‍රියාව දිගින් දිගටම සිදුකරගෙන ගොස් ඇත. චීන ජාතික යුවළ සහ කීර්ති බණ්ඩාර එලෙස කෝටි ගණන් වංචා කරද්දී පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි සහන් අකලංක නමැති අවුරුදු 28 ක් වයසැති පුද්ගලයකු රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් වංචා කර තිබේ.

සහන් අකලංක පොලොන්නරුව නවනගරය ප්‍රදේශයේ හැදී වැඩුණු තරුණයෙකි. ඉතා දිළිඳු පවුලක ඉපදුනු ඔහු කුඩා කල සිටම ගතකළේ ඉතාම දුෂ්කර ජීවිතයකි. එම දුෂ්කර ජීවිතය නිසාමදෝ කොහෙද යම් දිනක “තමන් කෝටිපතියකු වන බව පාසල් යන වයසේ සිටම ඔහු ඉටා ගත්තේය.”

පොළොන්නරුව නගරයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් ජීවිතයට සමුදුන් පසු ජීවිතය ගැටගසා ගැනීම සඳහා නොයෙක් දෑ සිදු කළේය. ඒ අතරතුර ඔහුට මිතුරකු මාර්ගයෙන් යම් පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගන්නට ලැබුණි. ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමේ දී ඔහුට හැඟී ගියේ ඉක්මනින් කෝටිපතියකු වීමට නම් හොඳම දේ මෙම පිරමීඩ ජාවාරම බවයි. ඒ අනුව සහන් සියලු දේ පසෙක දමා පිරමීඩ ජාවාරමට සම්බන්ධ විය. කලක් යද්දී ඔහු ඒ හරහා විශාල මුදලක් උපයා ගත්තේය. ඉන්පසු ඔහු ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආයතනයක් අංක 45/5 ඒ, දෙවන හරස් වීදිය පොළොන්නරුව යන ස්ථානයේ ආරම්භ කළේය. එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ඔහුය. ඒ හරහා ඊ මනී ඉපයීම් ආදී දෑ පෙන්වා ඔහු බොහෝ මිනිස්සුන්ගෙන් මුදල් වංචා කළේය.

එලෙස ඉතා සූක්ෂම ලෙස මිනිසුන්ගෙන් මුදල් වංචා කළත් ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ ජනප්‍රිය වී සිටියේ සමාජ සේවකයකු වශයෙන්ය. පන්සල්වලට උදව් කිරීම, පාසල්වලට උදව් කිරීම, දුප්පත් මිනිසුන්ට උදව් කිරීම ආදී වශයෙන් නොයෙක් දෑ ඔහු සිදු කළේය. එම ප්‍රදේශයේ සමහරු ඔහුව හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ නම වැනි කෝටිපතියා ලෙසටයි. සමාජය ඉදිරියේ ඔහු හැසිරුණේ එලෙසින්ය. සමාජය ඉදිරියේ එලෙස හැසුරුණු ඔහු සමහර විද්‍යුත් නාලිකාවල මුදල් ගෙවා තම අනවසර මූල්‍ය ආයතනය සඳහා ප්‍රචාර ලබාගෙන තිබුණි. එම ප්‍රචාරවලට රැවටුණු සමහර මිනිසුන් ඔහු ළඟ කිසිදු බියක් සැකක් නොමැතිව මුදල් ආයෝජනය කළේය. තම මූල්‍ය ආයතන හරහා මුදල්වලට වැඩි පොලියක් ලබා දෙන බව නිරතුරුවම ඔහු ප්‍රචාරය කළේය.

කලක් එලෙස ගතවෙද්දී එම මූල්‍ය ආයතනවල මුදල් ආයෝජනය කළ පුද්ගලයන්ට සහන් පිළිබඳව සැකයක් මතුවුණි. එම නිසා ඔහුගෙන් මුදල් ආපසු ලබා ගැනීමට උත්සාහ කළේය. එම අවස්ථාවන්හිදී ඔහු එම පිරිස මඟහරිමින් සිටියේය. එයින් උරණ වූ පිරිස් අවස්ථා කිහිපයකදීම ඔහුගේ පොළොන්නරුව නව නගරයේ පිහිටි ආයතනය ඉදිරිපිට සහ තවත් ස්ථාන කිහිපයකම ඔහුට විරුද්ධව විරෝධතා ව්‍යාපාර පවා පැවැත්වූවේය.

මුදල් ලබාගත නොහැකි තවත් පිරිසක් ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ. එම පැමිණිලිවලට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීහු ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ. එහිදී අනාවරණය වූයේ සහන් අකලංක නැමැති මෙම පුද්ගලයා මෙරට විවිධ තරාතිරමේ පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් රවටා රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් වංචා කර ඇති බවයි.

සහන් අකලංක නැමති මෙම පුද්ගලයාට විරුද්ධව ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අදාළ සමාගමට සහ පුද්ගලයාට තවදුරටත් අවබෝධතා ගිවිසුම් පත්‍රිකා නිකුත් කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු භාරගැනීම සහ ව්‍යාපාර කටයුතු කරගෙන යෑම සිදු නොකරන ලෙසටත් විධාන කර තිබේ. තවද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට කිසිදු ආකාරයකින් තැන්පතු හෝ මුදල්

ලබාගැනීම, ණය ලබාදීම, නව ආයෝජනයන් සිදු කිරීම, වත්කම් විකිණීම, පැවරීම, යම් ගිණුමකට, දේපළකට, ආයෝජනයකට අදාළව සියලු ගනුදෙනු සිදු කිරීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර තිබේ. මෙම ව්‍යාජ මූල්‍ය සමාගම් දෙකේම වැඩි වශයෙන්ම මුදල් තැන්පත් කර ඇත්තේ මෙරට ව්‍යාපාරිකයන්, නීතිඥවරුන්, දොස්තරවරු ආදී සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන්ය. කිසිදු සොයා බැලීමකින් තොරව වැඩි පොලී අනුපාතිකයක් අපේක්ෂාවෙන් මෙවැනි ව්‍යාපාරවල මුදල් තැන්පත් කරන පුද්ගලයන්ට එක් අතකින් මෙය හොඳ පාඩමකි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment