තොප්පියක් නිසා වැටුණු තොප්පියක් – දිසාපති ඕඅයිසී ඇතුළු 5ක් උසාවියේදී මාධ්‍යවේදියාට වැඳ සමාව ගනී

603

රත්නපුර මහ දිසාපති කාර්යාලයට හිස් වැසුමක් පැළැඳ ඇතුළු වූ මාධ්‍යවේදියකුට පහර දී බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එහි දිසාපතිවරිය හා රත්නපුර පොලිසියේ එවකට සිටි පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙක් ඊයේ (11දා) ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම මාධ්‍යවේදීයාට සිංහල ක්‍රමයට වැඳ සමාව ගත්හ.

ඒ එම සිදුවීම සම්බන්ධව මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම, එවකට රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චි වූ අනුරාධ බණ්ඩාර, එම පහරදීම සිදු කළ බව කියන රත්නපුර පොලිසියේ කොස්තාපල් සමීර සහ කුරුවිට හමුදා කඳවුරේ යුද හමුදා කෝප්‍රල් සේනානායක සහ එවකට රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මෙලෙස විවෘත අධිකරණය හමුවේ සමාව ගත්හ.

මෙම පෙත්සම ඊයේ මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

වගඋත්තරකරුවන් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් විනිසුරු මඬුල්ලට පැවසූවේ, සිය සේවාදායකයින් සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරුගෙන් සමාව ලබා ගැනීමට කැමැත්ත පළ කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව මාධ්‍යවේදියාට එරෙහිව රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකොට ඇති නඩුකරය ද ඉල්ලා අස්කර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

රත්නපුර මහ දිසාපති කාර්යාලයෙන් සිදු කරන ලද දැනුම්දීමක් අනුව 2019 මැයි 29 වැනිදා පෙත්සම්කාර මාධ්‍යවේදියා රත්නපුර මහ දිසාපති කාර්යාලයට ගොස් තිබේ. ඔහු හිස්වැසුමක් පැළැඳ දිසාපති කාර්යාලයට ඇතුළුවීම නිසා එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියා සහ යුද හමුදාවේ නිලධාරියා ඊට විරෝධය පළ කළ බව පෙත්සමේ සඳහන් වේ.

අනතුරුව පෙත්සම්කරු හිස්වැසුම ඉවත් කර දිසාපති කාර්යාලට ඇතුළු වී කාර්යාලය තුළ දී නැවත හිස්වැසුම පැළැඳීම හේතුවෙන් වගඋත්තකාර පාර්ශවය නැවත ඊට විරෝධය පළ කිරීමේදී බහින්බස්වීමක් ඇති වූ බවද පෙත්සමේ සඳහන් වේ.

ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරියා සහ හමුදා නිලධාරියා ඔහුට පහර දුන් බවද පෙත්සමේ සඳහන් වේ.

සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි දිසාපතිවරිය සහ ආරච්චි ද තමන්ට අසභ්‍ය ලෙස බැණ වැදුණු බවද පසුව ඔවුන් පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසියට රැගෙන ගොස් එදින සවස් වනතුරු ඔහුව පොලිසියේ රඳවා තබා තිබෙන බව ද පෙත්සමේ දැක්වේ. මෙම ක්‍රියාවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කර සුදුසු වන්දි මුදලක් ලබාදෙන මෙන් ඉල්ලා මාධ්‍යවේදියා විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතා සමඟ නීතිඥ අමරනාත් ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment