දඹුල්ල තන්ඩර්ස් සම හිමිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

60

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු යැයි කියන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංගලාදේශ ජාතික තම්මි රහ්මන් නමැත්තා ලබන 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (31) නියෝග කළේය.

ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන සිය සේවාදායකයා ඉදිරියේදී අධිකරණය මග නොහරින බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්‍රිෂාන් ද අල්විස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකරු ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් මෙන්ම පැමිණිල්ලෙ සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇති විය හැකි බැවින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම තරග පාවාදීමට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් පැමිණිලිකරුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසට ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැමිණිලිකරුගේ අනන්‍යතාව අනාවරණය වන ආකාරයේ කිසිදු තොරතුරක් ජනමාධ්‍ය මගින් අනාවරණය කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කළේය. එම සැකකරු විදේශගත වීම වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කොට තිබියදී හෙතෙම පසුගිය 27 වැනිදා කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් රහසිගතව පිටව යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment