දරුවන් අනතුරේ බලධාරීන් නිහඬද?

660

දරුවන් රටට සම්පතකි. ආයෝජනයකි. එනිසා නිරෝගීමත් දරු පරපුරක් නිර්මාණය කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි. නමුත් අද දවසේ අප රටේ දරුවන්ට නරක කලක් උදාවී ඇති බව ඇසෙන්නට ලැබෙන පුවත්වලින් පැහැදිලිය. ඇසක් මෙන් බලාගත යුතු දරුවන් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා විනාශව යෑම පිළිබඳව අප තුළ ඇත්තේ දැඩි කම්පනයකි.

ළමා සහ අපයෝජන නිවාරණ කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන අංශයේ ස්ථානාධිපතිවරයා පෙන්වා දෙන අයුරින් මෙම වසරේ ජනවාරියේ සිට සැප්තැම්බර් වන විට දරුවන් 12 දෙනකු ඝාතනයට ලක්ව ඇත. දරුවන් 1086 දෙනකු ලිංගික අතවරයට ලක්ව තිබේ. මේ අතරින් බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක්වූ දරුවන් 425 කි.

කලක් ධර්මද්වීපයක් ලෙස හැඳින් වූ අප රට අද වන විට කාමාතුරයන්ගේ, සොරුන්ගේ පරාදීසයක් බවට පත්ව ඇත. දේශපාලනඥයන් විසින් රටේ දේපළ සම්පත් කොල්ලකෑම නිසා පුරවැසියා හිඟමනට පත්ව ඇත. මෙම තත්ත්වය හමුවේ අප රටේ දරුවන් අන්ත අසරණ භාවයට පත්ව සිටිති. අද අපේ දරුවන්ට යහපත් පෝෂණයක් නැත. අධ්‍යාපන කටයුතු කරගෙන යෑම විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත. පාසල් පොත්පත් ඇතුළු උපකරණ මිල ඉහළ යෑම නිසා අද දෙමාපියන්ට දරුවන්ට හොඳම දේ නොව අවම පහසුකම් සැලසීම පවා දැඩි අභියෝගයක්ව පවතී. දිවා ආහාරයවත් පාසලට ගෙන ඒමට අපොහොසත් දරුවන් අනන්තවත් සිටිති. මේ සකලවිධ දුක් ගොඩක් අපේ දරුවන්ට උරුමකර දී ඇත්තේ මේ රටේ දේශපාලනඥයන්ය. එවන් අභියෝග හා දුෂ්කරතා රැසක් මැද අසරණව සිටින දරුවන්ට ජීවත් වන පරිසරය පවා අප්‍රසන්න වන තරමටම ළමා අපයෝජන හා අඩන්තේට්ටම් වැඩිවීම තුළ හෙට දවසේ අප රටේ දරුවන්ගේ ඉරණම කෙබඳු වේදැයි සිතනවිටත් අප තුළ ඇත්තේ දැඩි බියකි.

මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා අපයෝජන 168 ක් සිදුවී ඇති බවත් ඉන් වයස අවුරුදු 16 ට අඩු ගැහැනු දරුවන් 22 ක් ගැබ්ගෙන ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත. මෙය බරපතළ ඛේදවාචකයක් බව දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම බලධාරීන් අමතක නොකළ යුතුය.

එනිසාම මෙම අභාග්‍ය සම්පන්න ඉරණමෙන් අප රටේ දරුවන් මුදාගැනීම සඳහා නිශ්චිත ඉලක්ක සහිත වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. අප මීට පෙරත් මේ පිළිබඳව විවිධ සිහිපත් කිරීම් කළද නෑසූකන්ව සිටින බලධාරීන් නිසා දිනෙන් දින ළමා අපචාර ඉහළ යන ස්වභාවයක් නිරීක්‍ෂණය වී හමාරය. එනිසා දැන්වත් අපේ රටේ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනික වැඩපිළිවෙළක් ඔස්සේ මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගැනීම වහාම කළ යුතුව තිබේ. බලධාරීන්ට වගේම දෙමාපියන්ට මෙහිදී විශාල වගකීමක් පැවරෙන බව අමතක නොකළ යුතුය. දරුවන්ගේ හැසිරීම් රටා ගැන වැඩි සැලකිල්ලකින් සිටීම, දරුවන් මුහුණපාන ප්‍රශ්න පිළිබඳව ගෘහය තුළ සාකච්ඡා කිරීමට යම් කාලයක් මිඩංගු කිරීම මෙන්ම දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ආදරණීය සබඳතා වැඩිදියුණු කිරීම තුළින් දරුවන් අමාරුවේ වැටෙන අවස්ථා වළක්වා ගැනීමට පුළුවන.

දරුවන් සඳහා දිනයන් වෙන්වී තිබේ. එය ජාත්‍යන්තර ලෝක ළමා දිනය ලෙස නම් කර තිබේ. ඊට සමගාමීව අප රටේද ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු වැනිදා සමරනු ලබයි. එදිනට දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම, දරුවන් අපයෝජනවලින් මුදාගැනීම පමණක් නොව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බලපාන විවිධ මාතෘකා ඔස්සේ විවිධ සම්මන්ත්‍රණ සාකච්ඡා මෙන්ම විශේෂ සැමරුම් උත්සවද පැවැත්වේ. නමුත් එම සැමරුම් උත්සවවල කෙරෙන යෝජනා සැබෑ ලෝකයේදී යථාර්ථයක් වන බවක් පෙනෙන්නට නැත. එම නිසා අප රටේ දරුවන් ආරක්‍ෂා කර ගැනීම සහ ඔවුන් අපයෝජනවලින් වළක්වා ගැනීම සඳහා සෑම මොහොතකම ක්‍රියාත්මක වන විiාත්මක වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment