උසාවියට අපහාස කළ ඇතිමලේ හිටපු ඕ.අයි.සී. රිමාන්ඩ්

354

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ඇතිමලේ හිටපු පොලිස් ස්ථානාධිපති දැනට ගල්කිස්ස පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බුලත්සිංහල මහතා ඊයේ (17 දා) සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් නයෝමි වික්‍රමාරච්චි මහත්මිය සැකකරු ජුලි මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළාය.

ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි, ජ්‍යෙෂ්ඨ නීතිඥ බන්දුසේන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකුගේ මාර්ගයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් විය.

සැකකරු ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටියදී ඇතිමලේ 22 කොටස පදිංචිව සිටි දෙදරු මවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

ඇයගේ සැමියා නොමැති අවස්ථාවේදී රාත්‍රී කාලයේ පැමිණි සැකකරු ඇය සමග නිවසේ කාමරයේ සිටියදී ස්වාමිපුරුෂයා පැමිණ තිබේ.

ඒ අවස්ථාවේදී සැකකරු පලාගොස් ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය සහ යතුරුපැදියේ ආරක්ෂිත හිස්වැසුම දමා යතුරුපැදියේ නැගී සැකකරු පලාගොස් තිබිණි.

සිද්ධිය වසන් කිරීමට ස්ථානාධිපතිවරයා එදින තමා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීමට ගිය අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ඔහු පසුපස දුවයද්දී ජංගම දුරකථනය නැතිවූ බවට පොලිස් පොතේ සටහන් තබා නීතිවිරෝධී මත්පැන් සමග, ඔහුගේ හිතවතකු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳව සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් පරීක්ෂණ පවත්වන ලද අතර පොලිස්පතිවරයා විසින් සැකකරුගේ සේවය අත්හිටුවන ලදී. පසුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අසත්‍ය බව හෙළිවීමෙන් පසු සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබිණි.

සැකකරු අත්අඩංගුවට නොගන්නා ලෙස පරීක්ෂණ නිලධාරීන්ට මොනරාගල පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු විසින් උපදෙස් දීම නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

පසුව සැකකරු නීතිඥයකු මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම්පතක් සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළත් එය ප්‍රතික්ෂේප විය.

එසේ තිබියදී වැඩතහනමට ලක්ව සිටි පොලිස් ස්ථානාධිපතිවරයා 2022/06/25 වැනි දින වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත කර තිබිණි.

එසේ තිබියදී සැකකරු ඊයේ (17 දා) සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

මොනරාගල පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විල්ෆ්‍රඩ් සිල්වා, (23130) ආශා කුමාර යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment