ක්‍රිකට් ලියාපදිංචිය අත්හිටවූ ගැසට්ටුව අනුව වැඩ කරන්නේ නෑ

253

ඇමැති හරින් උසාවියට දන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පසුගිය නොවැම්බර් 5 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව තවදුරටත් කටයුතු නොකරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (13 දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එනම් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අහෝසි කරමින් හා එහි පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත්කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ද ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා අධිකරණයට පැවසිය.

ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගොනුකර ඇති පෙත්සම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැති ද යන කරුණු සලකා බැලීම සඳහා එම පෙත්සම් හෙට (15 දා) යළි කැඳවීමට නියෝග කළේය.

නව ක්‍රීඩා ඇමැතිවරයා අධිකරණයට කර ඇති පෙරකී කරුණු දැක්වීම් අනුව ඉදිරියට කටයුතු කරන බවට ඔහුගෙන් ප්‍රතිඥාවක් ලබාගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නව ක්‍රීඩා ඇමැතිවරයා මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බැවින් එවැනි ප්‍රතිඥාවක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව නව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment