දරුවාට පහරදුන් සිද්ධියේ පාපතරයා රිමාන්ඩ්

500

මව සහ කුඩම්මාත් ඇතුළේ

දරුවාට පහරදුන් සිද්ධියේ පාපතරයා රිමාන්ඩ්

බත් කවමින් කුඩා දරුවකුට ඉතා අමානුෂීය අන්දමට පහරදුන් එම දරුවාගේ බාප්පා සහ පවුලේ හතර දෙනකු තිරියාය ප්‍රදේශයේ සැඟව සිටියදී වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (05 දා) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හා සැකකාරියන් දෙදෙනා ජූනි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පදවිය මහෙස්ත්‍රාත්වරයා ඊයේ (05 වැනිදා) නියෝග කළේය. එසේම පහරකෑමට ලක්වූ කුඩා දරුවා එහිදී පරිවාසභාරයට පත්කර ඇත.

පරුෂ වචනයෙන් බැන වදිමින් එම දරුවාට අතින් පයින් පහරදුන් පුද්ගලයා වැලිඔය ‘කුකුල් චමින්ද’ නමැත්තා බවට බොහෝ දෙනකු හඳුනාගෙන පොලිසියට තොරතුරු සපයා තිබුණේ කුඩා දරුවාට පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය වීමත් සමගය.

පහරදුන් පුද්ගලයා දරුවාගේ මවගේ අනියම් පුරුෂයා බව හෙළිවී ඇති අතර ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවද වැලිඔය පොලිසිය සඳහන් කරයි. කුඩා දරුවා සීනි බෝතලයට අත දමා සීනි ස්වල්පයක් හොරෙන් කෑවේ යැයි කියමින් එම පුද්ගලයා දරුවාට දැඩි ලෙස පහරදෙද්දී දරුවාගේ මව හා එම මවගේ මව හා තවත් ළමුන් දෙදෙනකුද සිද්ධිය වැළැක්වීමට කිසිම උත්සාහයක් නොගෙන පහරදීම දෙස බලා සිටින අන්දම වීඩියෝවේ අන්තර්ගතවී තිබේ. එසේ පහරදීම නවතා දැමීමට පියවර නොගැනීමද ඉතා බරපතළ වරදක් බැවින් ඔවුන්වද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිඔය හංසවිල ගම්මානයේ පදිංචිව සිටි මෙම පවුල පිළිබඳව වැලිඔය පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ පුද්ගලයා සොයා ගිය නමුත් ඔහු පවුලේ උදවිය සමග නිවසින් අතුරුදන් වී සිටියේය. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය හා වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් සිදුකළ පරීක්ෂණවලදී සැකකරු හා පවුලේ උදවිය තිරියාය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබේ. පසුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවාට පහරදුන් සිද්ධියේ පාපතරයා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කැබිතිගොල්ලෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර කුඩා දරුවාට පහරදෙන අන්දම වීඩියෝ කළ වැලිඔය ප්‍රදේශයේ සමාජ ක්‍රියාධරයෙකුට මරණීය තර්ජන එල්ල වී ඇති අතර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් සියල්ලද කිසියම් පිරිසක් විසින් අක්‍රීය කොට තිබේ.

මේ පිළිබදව ඔහු ආණ්ඩුකාර කාර්යාලයට හා තවත් වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනකුටම පැමිණිලි කොට තිබේ.

දිනසේන රතුගමගේ සහ සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment