එංගලන්තය අපව ගණන් නොගැනීම පරාජයේ ආරම්භයයි – මහීෂ් තීක්ෂණගෙන් එංගලන්ත මාධ්‍යවේදීනියට පිළිතුරු

674

ලෝක ශූර එංගලන්තය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජය වීමට හේතුව ලෙස තමන් දකින්නේ ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කිරීම යැයි ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මාධ්‍ය හමුවේ පැවසීය.

තරගයෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එංගලන්ත මාධ්‍යවේදීනියක් විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තීක්ෂණ ඒ බව සඳහන් කළේය.

ඔබ හිතන්නේ එංගලන්තය පැරදුනේ ඇයි කියලා ද යනුවෙන් ඇය විසින් ප්‍රශ්න කළ අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නා ඇයට පිළිතුරු ලෙස මෙසේ පැවසුවේය.

“මම හිතන්නේ ඔවුන් අපේ කණ්ඩායම අවතක්සේරු කළා. මොකද අපිත් තරග තුනක් පැරදුණා. අපි නෙදර්ලන්තයට එරෙහිව පමණක් ජයග්‍රහණය කළා. මම හිතන්නේ ඔවුන් අපිව අවතක්සේරු කළා,”

එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය එතරම් හොඳ තත්ත්වයක නොමැති බව ඇඟවෙන ප්‍රකාශයක් සිදු කර තිබුණි.

ලෝක කුසලාන තරගාවලියේ දී, පෙරේදා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහීෂ් තීක්ෂණ ඒ බව සඳහන් කර තිබුණි.

එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකාව හමුවේ ලද එම පරාජයෙන් අනතුරුව මෙවර තරගාවලියෙන් ඉවත් වීමේ මුවවිටේ සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට 05 වැනි ස්ථානයේ රැඳී සිටී.

මේ අතර තරගාවලිය මධ්‍යයේ දී නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ පළපුරුදු ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ගේ දක්ෂතා සම්බන්ධයෙන් ද තීක්ෂණ අදහස් දැක්වීය.

“කණ්ඩායමක් විදියට අපි ගොඩක් සතුටු වෙනවා ඉතා පළපුරුදු ක්‍රීඩකයෙක් අපේ කණ්ඩායමට එක්වීම ගැන. ඔහු ඉන්දියාවේ ක්‍රීඩා කරලා තියෙනවා. අපිට ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි පන්දු යවන විටත් ඔහුගේ අත්දැකීම් තරගයේ දී යොදා ගත්තා. මේ වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කණ්ඩායමේ සිටීම ගැන මුළු කණ්ඩායම ම ගොඩක් සතුටු වෙනවා.”

කුෂාන් සුබසිංහ බෙංගලූරු නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment