දරු උපත් ප්‍රමාණය අඩුවෙලා – පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවීම තුළ මානව සම්පත කළමනාකරණය කළ යුතුයි – සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

88

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව නිදහස් අධ්‍යාපනය වැනසෙන එකක් – ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

පවතින අධ්‍යාපන ක්‍රමයෙන් දරුවාට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ – රෝහිනි කුමාරි විජේරත්න (සජබ)

වසරකට 3,30,000ක් වූ දරු උපත් ප්‍රමාණය මේ වනවිට ලක්‍ෂ තුනකට පමණ අඩුවී ඇති නිසා ඉදිරියේ දී පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවන බැවින් මානව සම්පත නිසි ආකාරයට කළමනාකරණ්‍ය කිරීමට සිදුවන බව සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කුමාරි විජේරත්න (සජබ) මහත්මිය ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

එහිදී විවාදය ආරම්භ කරමින් කතා කළ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න (සජබ) :

දරු උපත් ප්‍රමාණය අඩුවෙලා - පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවීම තුළ මානව සම්පත කළමනාකරණය කළ යුතුයි - සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

අද මේ රටේ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ඒ නිසා ඒ ගැන කතා කරන්න සිදුවීම සතුටට කරුණක් නොවෙයි.

පවතින අධ්‍යාපන ක්‍රමය දරුවාට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. එහෙම වැඩක් තියෙනවා නම් දරුවෝ මේ තරම් පීඩාවට පත් වන්නේ නෑ. අවුරුදු 13ක් පාසල් ගිහිල්ලත් දරුවා බෝක්කුව උඩ රස්තියාදු වන්නේ නෑ. විශ්වවිද්‍යාලයට ගිහින් උපාධි අරගෙන රටේ තියා ලෝකයේවත් රස්සාවක් උපාධියට ගන්න බැහැ.

සෑහෙන කාලයක සිට අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණය ගේනවා කිව්වත් එයට බාලගිරි දෝෂය හැදිලා. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අනෙකාට වඩා හොඳට කිරීමේ කලාවක් තියෙන්නේ. මේ රටේ දරුවන් මානසික ලෙඩ්ඩු කරන තැනට අධ්‍යාපන ක්‍රමය පත්වෙලා නම් ඒ අධ්‍යාපනය හොඳ වෙන්නෙ කොහොමද? අද සාරධර්ම හඳුනන්නේ නැති පරම්පරාවක් ඇති වෙලා තියෙනවා. ආකල්ප කුණු වූ සමාජයක් මේ අධ්‍යාපන ක්‍රමය තුළ හදනවා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස :

මේ අධ්‍යාපනයේ බරපතළ ප්‍රශ්න රැසක් පවතිනවා. අරමුදල් ප්‍රශ්නය උග්‍රයි. විශාල මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයේ දියුණුවට අවශ්‍යයි.

රාජය ආදායමට අමතරව අලුත් ආදායම් ක්‍රම ඇතිකර අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍ර දියුණු කළ යුතුයි. රාජ්‍ය නොවන ව්‍යාපාරික ක්‍ෂේත්‍ර මගින් රටේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් නැංවිය හැකියි.

සමගි ජන බලවේගයේ අධ්‍යාපන වැඩසටහන තුළ අධ්‍යාපනයට මුදල් වැය කිරීම ඉලක්ක ඇති කර නොගෙන නැවුම් වැඩසටහන් තුළින් මුදල් සොයා ගන්නවා.

සභානායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත :

40000ක ගුරු හිඟයක් තිබුණා. අධ්‍යාපන පරීක්‍ෂක සේවයට වසර 3කින් බඳවාගැනීම් සිදුවී නෑ. විදුහල්පති පත්වීම් වසර 5ක් දීලා නෑ. දැන් දීලා තියෙනවා. ගුරු හිඟය අතිශෝක්තියක් නොවෙයි. පළාත් මට්ටමින් පත්වීම් දෙමින් තිබෙනවා. තවත් ගුරුවරුන් 10,535කට ජුලි මැද වනවිට පත්වීම් දෙනවා.

වසරකට 3,30000ක් වූ දරු උපත් ප්‍රමාණය මේ වනවිට ලක්‍ෂ 3ට වඩා අඩුවෙලා. පළමු ශ්‍රේණිය අයැදුම්පත් ප්‍රමාණය අඩුයි. මානව සම්පත නිසි ආකාරයට කළමනාකරණය කළ යුතුයි.

පළාත් හා කලාප මට්ටමින් ගුරු තුලනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. පරිපාලනමය ප්‍රතිසංස්කරණ ගැන අපි කතා කළා. පළාත් 9ට යුනිට් 9ක් පිහිටුවිය යුතුයි. කලාප 100 එකසිය විස්ස විය යුතුයි. මණ්ඩල ඇතිවෙනවා. සෑම පාසලක්ක්ම පර්ෂදයකට ඇතුළත් වෙනවා. මේ ක්‍රමය තුළ ගමේ දරුවන් කොළඹ පැමිණිය යුතු නෑ. මෙය තමයි කන්නනංගර අධ්‍යාපන ක්‍රමය. පර්ෂද හා මණ්ඩල ලෙස කලින් සම්පත් බෙදීයෑම කළමනාකරණය කළ හැකියි.

දැන් තියෙන විෂය මාලා සංවර්ධනයට අවුරුදු 5ක් විතර යනවා. මම සදාකාලිකව ඇමැතිකම භාරගත්ත නොවෙයි. අපි පීල්ලට දාන්න ආවේ. කට්ටිය පැනලා ගියා. සිහින මාලිගා හදන්න සමහරු උත්සාහ කරනවා.

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු බඳවා ගන්න පරීක්‍ෂණ තිබ්බා. ප්‍රමාණවත් ප්‍රමාණයක් ආවේ නෑ. අපි ඒ ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. අධ්‍යාපනය වැටෙන්න නොදී අපි ගෙන යනවා. අධ්‍යාපනයට මීට වඩා ප්‍රතිපාදන හිමිවිය යුතුයි කියා මා පිළිගන්නවා.

පත් කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) :

දරු උපත් ප්‍රමාණය අඩුවෙලා - පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවීම තුළ මානව සම්පත කළමනාකරණය කළ යුතුයි - සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

ආණ්ඩුවේ ප්‍රතිපත්තියද ඇමැතිවරයා නියෝජනය කරන්නේ කියන ගැටලුව තියෙනවා. ආණ්ඩුවේ වෙනත් විදියේ ප්‍රතිපත්ති සම්පාදනයක් සිදුවෙනවා එය පැහැදිලියි. ළඟදී ඉදිරිපත් වූ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව ඇමැති කියන ගැටලු කිසිවක් හඳුනාගෙන පිළිතුරු යෝජනා කර නෑ. එය හාත්පසින් වෙනස් එකක්. අතිශයින් භයානක නිදහස් අධ්‍යාපනය වැනසෙන එකක්. එය ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වී තියෙන්නේ.

ගුරු වැටුප් විෂමතාව ඇරැඹෙන්නේ 1994දි. එන එන ආණ්ඩු ඊට මැදිහත්වෙන විදිය නිසයි ප්‍රශ්නය උග්‍රවෙලා තියෙන්නේ. අද වනවිට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පැන නැගී ඇති ප්‍රශ්නය මානව සම්පත් ප්‍රශ්නයයි. එය වැටුප් පමණක් නොව වෘත්තිය සමිති එකඟතාවන් ක්‍රියාත්මක නොවීමයි. ගුරු සේවයේ ගුණාත්මකභාවය වැඩි විය යුතුයි. ප්‍රශ්න නොවිසඳීම නිසා වසරකට වරක් විශ්වවිiාල වැසෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් බඳවා ගැනීම ප්‍රමාද වෙනවා.

පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් (සජබ) :

කළුතර බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ පමණක් සියයට 36ක ගුරු හිඟයක් පවතිනවා. මේ ගැන දිගු කලක් සිට කිව්වත් කිසිම විසඳුමක් නෑ. අවුරුදු දහයක කාලයක් ගුරුවරු නෑ. කළුතර කලාපයෙත් එහෙමයි. විද්‍යා පීඨවලින් පිරිස ආවාම විසඳුම් දෙනවා කිව්වත් ඔවුන්ව පිට පළාත්වලට යවනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම (ශ්‍රීලනිප) :

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය හා තෘතීය අධ්‍යාපනය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අධ්‍යාපන සංගණනය අනුව පාසල් යන වයසේ ඉන්න ආබාධිත දරුවන්ගෙන් සියයට 34ක් මූලික අධ්‍යාපනයවත් ලබලා නෑ. මේ සඳහා පාසල් 30ක් පවතිනවා. 2135ක් දරුවෝ එහි ඉන්නවා. මේ ප්‍රශ්නයට අපි විසඳුම් ලබාදිය යුතුයි.

පාර්ලිමේන්තුව හෙට පෙ. ව. 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment