හරක් කටාව ලංකාවට නොගෙන්වා ඩුබායි තියන්න – මිලියන 700 ක ඔෆර් එකක් මටත් ආවා

326

ඒවාට යට නොවුණු නිසා පාතාලය මාව ඇමැතිකමෙන් අයින් කරන්න වලි කනවා
බය නැතිව ඇක්ෂන් ගන්න : මම සිටින තුරු හැම නිලධාරියකුම ආරක්‍ෂා කරනවා
ඇමැති ටිරාන් දකුණේ පොලිස් ප්‍රධානීන්ට කියයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්නා ලෙස ඉල්ලමින් රුපියල් මිලියන හත්සියයක් තමාට ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

“ඇතැම් ඕ.අයි.සි.ලා මම දන්නවා. හැබැයි මම නම් කරන්නේ නැහැ. ඒ අය මේ පාතාලේ උදවිය එක්ක ටෙලිෆෝන් එකෙන් කථා කරනවා. ඔවුන් සමග සම්බන්ධකම් තියෙනවා. මම ඒ අයට කියන්නේ වහාම මේ සම්බන්ධකම් නතර කරන්න. මම මේ කතාව කළාට පස්සේ ඒ වගේ නිලධාරීන්ට කිසිම සමාවක් නැහැ” යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් සමග හමුවක් පසුගියදා ගාල්ල උණවටුන අරලිය හෝටලයේ පැවැති අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. දකුණු පළාතේ පොලිස් නිලධාරීන් දිරිගැන්වීම, ඇගයීම සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු සියලුම ආකාරයේ අපරාධ මැඬලීම සහ පාලනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණු විය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුද, දකුණු පළාත් රාජ්‍ය නිලධාරීහු සහ දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරු සහභාගි වූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙසේද කීය.

“අපි හරක් කටාවයි සලිඳුවයි ගෙනකොට මම දවස් දෙකක් විතර රෑ නිදා ගත්තේ නැහැ. මම මේක දැනගත්ත වෙලාවේ ඉඳලා උදේ දවල් රෑ මැඩගස්කර් මහජන ආරක්ෂක ඇමැති එක්ක ටෙලිෆෝන් එකෙන් කථා කළා. එතැනින් ගෙනත් ප්ලෙන් එකට දානකම් මම හැමවෙලාවකම සී.අයි.ඩී. නිලධාරීන් එක්ක ටෙලිෆෝන් එකේ හිටියා. ඊළඟට කෙන්යාවට ගෙනාවාම ෆ්ලයිට් එක මිස් වුණා. මට සිද්ධ වුණා ඉන්දියාවට කථා කරලා එහෙන් පණිවිඩයක් දෙන්න. කෙන්යාවේ ෆ්ලයිට් එකට දාගත්තේ නැත්තේ ඉන්දියාවෙන් භාර ගන්නවා කියලා පණිවිඩේ ලැබුණේ නැහැ කියලයි. ඊට පස්සේ ඊළඟ ෆ්ලයිට් එකෙන් මුම්බායි දාලා මුම්බායිවලින් මෙහෙට එන ෆ්ලයිට් එක මිස් වෙලා. පස්සේ මුම්බායි තියාගන්න වුණා. මේ විදිහට කැප කිරීමක් කරලා තමයි මේ දෙන්නා ගෙනාවේ. ප්ලෙන් එකට දාගන්න කොටත් එහේ පොලිසියට ගහලා ප්ලේන් එක ඇතුළෙ එකම යුද්ධයක් තිබුණේ.

අපි ඔක්කොම එකතු වෙලා මේ විදිහට වැඩ කෙරුවොත් මේක නැති කරගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. සල්ලි වියදම් කරයි ඕනේ තරම්. මේක මේ උසස් නිලධාරිනුත් දන්නවා. හරක් කටා ලංකාවට ගෙන එද්දි මට මිලියන 700 ක් දෙන්න හැදුවා. ලංකාවට ගේන්නේ නැතුව ඩුබායි ගෙනියන්න කියලා. ජනාධිපතිතුමාත් දන්නවා මේක ගැන. මේ මිනිස්සු ලැස්තියි ඕනේ තරම් සල්ලි දෙන්න. හැබැයි කවදාවත් ඒ දෙවල්වලට යට වෙන්න එපා. ඒ සල්ලිවලින් කාලා කාටවත් හරියන්නේ නැහැ. ඒ ඕෆර් එක මට දෙන්න හදපු පුද්ගලයාටත් වැඩිදුර යන්න ලැබුණේ නැහැ. දකුණු පළාතේම තැනකදි මැරුම් කෑවා. දැන් මේ අය ලැස්තියි අපේ ලොකු ලොක්කන්ට මිලියන ගණන් දීලා මාව මේ ඇමැතිකමෙන් අයින් කරගන්න. ඒ තරමට ඔවුන් සාකච්ඡා කරනවා.

හරක් කටාගේ නෝනා හරක් කටාට කෝල් එකක් දුන්නාම කියනවා දැන් ඩී. ඕ. එක හරි එකම ප්‍රශ්නේ මේ ටිරාන් අලස් ඇමැතිතුමා කියලා. සමහර ඕ.අයි.සී.ලා මම දන්නවා මේ පාතාලේ උදවිය එක්ක ටෙලිෆෝන් එකෙන් කථා කරනවා. ඒ අය සමග සම්බන්ධකම් තියෙනවා. මම ඒ අයට කියන්නේ වහාම මේ සම්බන්ධකම් නතර කර ගන්න. මම මේ කතාව කළාට පස්සේ ඒ වගේ නිලධාරීන්ට කිසිම සමාවක් නැහැ. අපි අපේ ආත්ම ගරුත්වය වගේම නිලඇඳුමේ ගරුත්වයත් රැකගෙන එක්ව ක්‍රියා කරන්න ඕනේ. මම දිගින් දිගටම මේ ගැන පොලිස් නිලධාරීන්ට කිව්වා. හැබැයි මට මේක දිගින් දිගටම කියන්න තියන්න එපා. කරුණාකරලා අපි මේ වැඩේ ඔක්කොම ටික එකතු වෙලා කරමු. හිතන්න මේ දේ කරන්නේ අපේ ළමයි හා රට වෙනුවෙන් කියලා. තමන්ගේ ළමයෙක් ගැන හිතන්න අපි මේ කුඩු සහ පාතාලය නැති කරන්නේ ඔහුගේ අනාගතය වෙනුවෙන්. ගන්න තියෙන ඕනෑම ඇක්ෂන් එකක් බය නැතුව ගන්න.

දැන් මෙතැන ඉන්න එස්. එස්. පී.ට ප්‍රශ්නයක් වුණා. අවාසනාවට වගේ කාටවත් මුකුත් කර ගන්න බැරි වුණා. හැබැයි මම පොරොන්දු වෙනවා මම ඉන්නකම් එවැනි දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. අපේ සතුරා අපිට ගහන්න කලින් අපි සතුරාව හොයාගෙන ගිහිල්ලා ගහන්න ඕනේ. බය නැතුව ඇක්ෂන් ගන්න යනකොට සතුරා ගැහුවොත් අපි සතුරාට ගහන්න ඕනේ. අර ටෙලිෆෝන් කෝල් ටික අහද්දී හිතෙන්නේ නැද්ද ඒ අයට එවෙලෙම හොයාගෙන ගිහිල්ලා ගහන්න ඕනේ කියලා? කරුණාකරලා බය නැතුව ඇක්ෂන් ගන්න. මම මේ තනතුරේ ඉන්නකම් ඔය හැම නිලධාරියකුවම ආරක්ෂා කරනවා. ඒකයි මට දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment