වෙඩි වැදී තරුණියක මියගියාට බොරැල්ලේ කුඩු වැටලීමට ගිය හමුදා බුද්ධි අංශ 2 ක් රිමාන්ඩ්

760

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ ඔත්තු බැලීම සඳහා ගොස් සිටියදි සිදුවූ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණියක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු ලබන 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (14 දා) නියෝග කළාය.

සැකකාර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා පසුගිය 13 වැනිදා රාත්‍රි බොරැල්ල නිවසක් තුළට ඇතුළු වී සිටියදී ඔවුන් සන්තකයේ තිබූ ගිනි අවියකින් එම වෙඩිතැබීම සිදුවී තිබිණි. පසුව ඔවුන් දෙදෙනා බොරැල්ල පොලිසියට පැමිණ ගිනි අවිය ද පොලිසියට භාර දී පොලිසියට භාර වී තිබිණි.

බොරැල්ල බේස්ලයින් මාවතේ හල්ගහකුඹුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමකදී යුදහමුදා බුද්ධි අංශ සෙබළකු සතු අවියක් පත්තුවී මෙම තරුණියට වෙඩි වැදි ඇත.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා විසින් මෙම වැටලීම කර ඇත්තේ පෙරේදා (13 දා) රාත්‍රි කාලයේදීය.

දෙමටගොඩ හල්ගහකුඹුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තරුණයකු අත්අඩංගුවට ගෙන මාංචු දමා රැගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ එම වැටලීම කළ බුද්ධි අංශ හමුදා සෙබළුන් දෙදෙනාට ප්‍රදේශවාසීන් විසින් පහරදී ඇත.

ඒ අවස්ථාවේ දොපර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී සිවිල් ඇඳුමින් සිටි එක් බුද්ධි අංශ සාමාජිකයකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී තිබේ.

හල්ගහකුඹුරේ පදිංචි 25 හැවිරිදි තරුණියක එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඇය බරපතළ තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ එහි තිබූ සී සී ටී වී දර්ශන පොලිසිය මගින් ලබාගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු සහ ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment