දළදා වන්දනාවේ ආ 4 දෙනෙක් මියගිහින්

60

මියගිය සියලු දෙනා වයස 65 ඉක්මවූ අය

සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණි සිව් දෙනකු මේ වනවිට මරණයට පත්ව තිබෙන බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 69, 70, 74 හා 80 වයස්වල පසුවන සිව් දෙනෙකි. මියගිය සියලු දෙනා අවුරුදු 65 ඉක්මවූ අය බවත් එක් අයෙකුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙන බවත් ඇය කීවාය. අනෙක් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පියවර ගෙන තිබේ.

විවිධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ගත වූ දින හත තුළ පුද්ගලයන් 300 ක් පමණ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන් බොහෝ දෙනකු විජලනය හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්ව රෝහලගත කර තිබෙන බව ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව සෞඛ්‍ය මධ්‍යස්ථාන 09 ක් ක්‍රියාත්මක අතර ඒවායින් පසුගිය දින කිහිපයේදී 3000 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

දළදා වන්දනාවට පැමිණ සිටියදී රෝගී වන පුද්ගලයන් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යෑමට සුවසැරිය ගිලන් රථ 07 ක් යොදවා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතා කීය.

සමන්ති වීරසේකර


advertistmentadvertistment