දැයෙන් සමුගත් පරමාදර්ශී බෞද්ධ විද්වතා – සුමනපාල ගල්මන්ගොඩ මහාචාර්යතුමා

379

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ දශක හතරකට අධික කාලයක් අඛණ්ඩව අනුපමේය හා අද්විතීය ධර්ම-ශාස්ත්‍රීය සේවයේ නියුතු වූ දිවංගත සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ ශ්‍රීමතාණෝ මෑත යුගයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රාචීන හා බෞද්ධ අධ්‍යයන ක්ෂෙත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ මහා විද්වතෙකි. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද යථෝක්ත විෂය ධාරාවන් පිළිබඳ මහා අවධිකමක් මෙන්ම උද්‍යෝගයක් ඇති කිරීමට එතුමෝ උපස්ථම්භක වූහ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩට ආසන්න හංවැල්ල ගමෙහි උපත ලැබූ එතුමා දේශීය වෛද්‍යවරයෙක් වූ පියා හා බෞද්ධ මහෝපාසිකාවක වූ මව ඇසුරේ ළමා කළ සිටම පාලි, සංස්කෘත හා සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාෂය ලබමින් හා විඳිමින් බෞද්ධ ධර්මානුකූල දිවිපැවැත්මේ හරය තම ජීවන අත්දැකීම ලෙස දකිමින් හා අත්විඳිමින් පෝෂණය ලැබීමට කුඩා කළ සිටම වාසනාවන්ත විය.

අනතුරුව එතුමාට සිය ජන්ම භූමිය හා වාස භූමියට ආසන්න වූ බලගල්ල සරස්වතී මහා පිරිවෙණ ආදී විද්‍යාස්ථාන ඇසුරෙහි පැවිදි මහපඬිවරුනගේ මගපෙන්වීමෙන් ප්‍රාචීන භාෂා හා බෞද්ධ අධ්‍යයනයන්ට අදාළ මූලික අධ්‍යාපනය අතිශය දීප්තිමත් තරුණ පඬිවරයෙක් ලෙස ලබා විකසිත වන්නට පසුබිම යෙදිණි. එතුමා අද්විතීය ධාරණ ශක්තියකින් පොහොසත්ව විචක්ෂණ ඥානබලයෙන් සුපෝෂිතව භාෂා භාෂාන්තර, සමය සමයාන්තර, දර්ශන දර්ශනාන්තර දැනුමෙහි පාරප්‍රාප්ත අසමසම විශාරද විද්වතෙක් ලෙස ඉතා තරුණ අවධියෙහිදීම ප්‍රකට විය.

දැයෙන් සමුගත් පරමාදර්ශී බෞද්ධ විද්වතා - සුමනපාල ගල්මන්ගොඩ මහාචාර්යතුමා

කැලණිය විශ්වවිද්‍යාල ඉතිහාසයෙහි දෙවන වතාවට පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී විෂය ධාරාව හදාරා ප්‍රථම පන්ති සාමාර්ථය දිනූ (1973 වසර) එතුමා එම අධ්‍යයනාංශයෙහිම කථිකාචාර්යවරයෙක් බවට පත්වීමේ එවක දුර්ලභ භාග්‍යය ලබා අනතුරුව කැලණිය සරසවියේ, භාරතයේ පූනා විශ්වවිද්‍යාලයේ මෙන්ම ඕස්ටේ‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ උසස් හා ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණයන්හි නිරතව අභිධර්ම අධ්‍යයනය ප්‍රධාන කොට බෞද්ධ අධ්‍යයනය හා පෙරදිග භාෂා පිළිබඳ අද්විතීය ශාස්ත්‍රීය පෞරුෂයක් ලෙස ලක්දිව පමණක් නොව ලොව පුරා ප්‍රකට විය.

කැලණිය සරසවියේ කථිකාචාර්ය ධුරයේ සිට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිය දක්වා තනතුරු දරමින් දුර්ලභ හා ආදර්ශමත් ශාස්ත්‍රීය හා පරිපාලන ශක්‍යතාවෙන් තම වෘත්තීය ආස්ථානය බැබළ වූ එතුමා පාලි හා බෞද්ධ අධ්‍යයන අංශාධිපති, කැලණිය සරසවියේම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, (එවක) ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ හා කැලණිය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ යන තනතුරු හොබවමින් මෑත කාලයේ සිටි අනාගත දැක්මක් සහිත විශිෂ්ට විධායක පරිපාලකවරයකු ලෙස මෙන්ම දේශීය ශාස්ත්‍රීය අධ්‍යයනයේ පුරෝගාමියෙක් ලෙස ජාතියට හා බෞද්ධ අධ්‍යයනයට අනුපමේය සේවයක් ඉටුකළේය.

ආකර්ශණීය මෙන්ම මහත් ජනාදරයට ගුරුවරයෙක් හා දේශකවරයෙක් ලෙස එතුමාගේ කීර්තිය දසත විහිද ගිය අතර එතුමාගේ ශාස්ත්‍රීය ඥානයේ හා ශාස්ත්‍රදානයේ ආලෝකයෙන් හා අසමසම ඉගැන්වීමේ කුසලතාවේ ආලෝකයෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂෙත්‍රයට බිහි වූ අනාගත ශ්‍රාස්ත්‍රධරයන්ගේ පරපුර විද්වතුන් දහස් ගණනකින් සමන්විතය.

එසේ උසස් ශාස්ත්‍රීය අධ්‍යයන ආයතනයන්හි අතිශය කාර්යබහුල වුවත් ධර්මශාස්ත්‍රීය පර්යේෂණ හා ප්‍රකාශන විෂයයෙහි සිය කාර්යභාරය ගැන මහත් කැපවීමෙන් යුතුව කටයුතු කළ එතුමෝ බොහෝ රාත්‍රීන් නිදිවර්ජිතව වෙහෙසෙමින් කටයුතු කරමින් සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂාවන්ගෙන් ග්‍රන්ථ තිහකට අධික ප්‍රමාණයක් ද, ශාස්ත්‍රීය ලේඛන හා පර්යේෂණ පත්‍රිකා සිය ගණනක් ද ලියා පළ කළහ. අභිධර්ම අධ්‍යයනය ඇතුළු විෂය ක්‍ෂේත්‍ර රාශියක උසස් අධ්‍යාපන තලයේ පාඨ ග්‍රන්ථ හා මූලාශ්‍රය ලෙස එම ශාස්ත්‍රීය ප්‍රදානයන් අදට මෙන්ම තවත් වසර දහස් ගණනක් ආධුනික මෙන්ම ප්‍රවීන ශාස්ත්‍රාභිලාෂීන්ට ද මහත් ආලෝකයක් සපයනු ඇත.

ජාත්‍යන්තර වශයෙන් උසස් ශාස්ත්‍රීය අධ්‍යයන ආයතනයන්හි කීර්තිමත් ආරාධිත මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ එතුමා සිංගප්පූරුව, තායිවානය, මැලේසියාව, හොන්ග් කොන්ග්, චීනය, මියන්මාරය හා තායිලන්තයේ කීර්තිමත් මෙන්ම අතිශය ජනාදරයට පත් ගුරුවරයෙක් ලෙස ශාස්ත්‍රීය සේවයෙහි නිරත විය.

එසේම ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ හා බෞද්ධ සාමයික කටයුතු වෙනුවෙන් දකුණු හා පෙරදිග ආසියාව, යුරෝපය, මැදපෙරදිග මෙන්ම ස්කැන්ඩිනේවියානු රටවලදීද එතුමන්ගේ ශාස්ත්‍රීය දායකත්වය ලබාදී ඇත. වරක් මානසික සෞඛ්‍යය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම පිළිබඳ එතුමා කළ විවරණය එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ විශේෂ අවධානයට යොමුවීම ජාත්‍යන්තර වශයෙන් එතුමා ශ්‍රී ලංකාවට ගෙනදුන් විශේෂ ගෞරවයකි.

ශ්‍රී ලංකාවේදී ජනමාධ්‍යය තුළ විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍යය තුළ බුදුදහම පිළිබඳ දැනුම පොදු මහජනතාව අතර ප්‍රචලිත කිරීමට එතුමන් ලබාදුන් දායකත්වය සුවිශේෂය. ඒ අතර ස්වාධීන රූපවාහිනියේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි විද්වතාණන් ඇතුළු දොරමඬලාව විද්වත් මණ්ඩපය හරහා පොදු සමාජය දහම් දැනුමෙන් පෝෂණය කිරීමට ලබාදුන් දායකත්වය විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඉහත ධර්ම – ශාස්ත්‍රීය, පරිපාලන, දේශීය හා ජාත්‍යන්තර කටයුතු හේතුවෙන් කෙතරම් කාර්යබහුල වුවද තමන් ජීවත් වූ කඩවත ඇල්දෙණිය ප්‍රදේශය වෙනුවෙන් සිය මෙහෙවර එතුමා අතින් අතපසු වූයේ නැත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන මෛත්‍රී දහම් පාසල හා මෛත්‍රී සුබසාධක සංගමය එතුමන්ගේ එම සමාජ මෙහෙවර හා සමාජ සේවා පිළිබඳ ජීවමාන සාධක ලෙස මතුවට ද පවතිනු ඇත.

මේ සියලු කටයුතු අතර තථාගත සද්ධර්මයෙන් උගත් ධර්ම මාර්ගය හා ජීවන ප්‍රතිපදාව ප්‍රායෝගික ව පුහුණු කිරීමට එතුමා නිරන්තරයෙන් කැප වී ක්‍රියා කළ බව එතුමාගේ සමීපතමයෝ හොඳින්ම දනිති. තම නිවසේ බුද්ධ මන්දිරයෙහි දිනපතා හිමිදිරියේ මෙන්ම සන්ධ්‍යාවේ වන්දනා, භාවනා, පරිත්‍රාණ දේශනා ආදි චාරිත්‍ර එතුමා සිය දරු පවුල සමග නොපිරිහෙළා ඉටු කළේය.

කීර්තිශේෂභාවෝපගත කීර්තිධර සුපින්වත් සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ ශ්‍රීමතාණන්ට අමා නිවන් සුව හේතු වාසනා වේවා…!

පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි
විහාරාධිකාරී, රජමහා විහාරය, කැලණිය,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment