පකිස්තාන තානාපති ඝාතන තැත 7කට දිවි අහිමි කළ මරාගෙන මැරෙන බෝම්බය: අවුරුදු 17ක් ඇතුළේ සිටි මන්ත්‍රී පුතා නිදොස් කොට නිදහස්

359

චෝදනා සනාථවීත් නැහැ

රැඳවුම් නියෝග මතම (DO) රඳවා තබලා

කොල්ලුපිටිය ප්‍රදේශයේදී 2006.08.14 වැනිදා ත්‍රිරෝද රථයක සවිකළ බෝම්බයක් පුපුරුවා හැර එවකට ශ්‍රී ලංකා පාකිස්තාන තානාපතිවරයා ලෙස කටයුතු කළ බසීර් අලි මොහොමඩ් මහතාගේ මරණය සිදු කිරීමට තැත් කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු අධි චෝදනා 25ක් යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනගරත්නම් මහතාගේ පුත්‍රයා වන කනගරාජා ආධිත්‍යයන් ඇතුළු තිදෙනා සියලුම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (10 දා) නියෝග කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමනය කරමින් යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් චේන රාජා හෙවත් වනේ හා කනගරාජා ආධිත්‍යයන් හෙවත් රංජන් යන විත්තිකරුවෝ එලෙස නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.

එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයකු වන ඇන්ටන් නමැත්තා විසින් සිදුකළේ යැයි කියන එම බෝම්බ පිපිරවීමෙන් පාකිස්තාන තානාපතිවරයා ලෙස කටයුතු කළ ඔසීර් අලි මොහොමඩ් මහතා සුළු තුවාල ලබා තිබිණි. ඔහුගේ ආරක්‍ෂාවට යොදවා සිටි ලාන්ස් කෝප්‍රල් (553910) අරුණ චින්තක, යුද හමුදා සෙබළ (551864) සමන්ත කුමාර, යුද හමුදා සෙබළ (553124) එස්. ප්‍රේමජයන්ත සහ යුද හමුදා සෙබළ (00241) සිසිර ජයනන්දන යන සිව් දෙනාත් සිවිල් පුරවැසියන් වන ඉන්දික ජයකොඩි, රංජනි හේවාමන්න සහ පද්මන් මාහා අබේධීර යන තිදෙනාත් එහිදී තුවාල ලබා මියගොස් තිබිණි.

පළමු හා දෙවන විත්තිකරුවන් පුරා වසර 15කට ආසන්න කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවූ අතර තුන්වන විත්තිකාර කනගරාජා ආධිත්‍යයන් අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වාම එනම් වසර 17කට ආසන්න කාලයක් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් නිකුත් කළ රැඳවුම් නියෝග මත රඳවා තිබිණි.

නීතිඥ කනිල් මද්දුමගේ, නීතිඥ ධර්මරාජා ධර්මජා මහත්මිය සමග ජනාධිපති නීතිඥ කේ. වී. තවරාසා මහතා තුන්වන විත්තිකාර කනගරාජා ආධිත්‍යයන් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ තනුක නන්දසිරි මහතා දෙවන විත්තිකාර ත්‍රිරෝද රථ රියැදුරු වෙනුවෙන් පෙනී සිටියේය. රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය විය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment