අනුරාධපුර ඉන්ධන පෝලිමේ පිහි ඇනුමක්

76

පාසල් බස් රියැදුරු රෝහලේ පලාගිය රාජ්‍ය සේවකයා අල්ලන්න පරීක්‍ෂණ

ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට යෑමේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන්, රාජ්‍ය සේවකයකු වන මෝටර් රථ රියැදුරකු ඊයේ (14දා) එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් කැපුම් තුවාල ලැබූ පාසල් බස් රථ රියැදුරකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, අනුරාධපුර ඉලන්දගහවැව සිට අනුරාධපුරය දක්වා පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරකු වන ඉලන්දගහ වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනුරාධපුර නව නගරයේ ඇති ඉන්ධන පිරවුම් හලකදී, මෝටර් රථයකින් පැමිණ ඇති රාජ්‍ය සේවකයා, මෝටර් රථය පසුපසට ගැනීමට යෑමෙදී පිටුපස නවතා තිබූ පාසල් බස් රථයක ගැටීමෙන් අනතුරුව මෙම ආරවුල හට ගෙන ඇතැයි පොලිසිය කියයි.

රියදුරන් දෙදෙනා අතර ඇති වූ කතා බහක් දුර දිග යෑමෙන් අනතුරුව, මෝටර් රථ රියැදුරු රථයේ තිබූ පිහියක් ගෙන බස් රථ රියැදුරුගේ බෙල්ලට තබා ඇති අතර, එම අවස්ථාවේදී බස් රථ රියැදුරුගේ බෙල්ල ප්‍රදේශයේ කැපුම් තුවාලයක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

එම සිද්ධියට සම්බන්ධ සැකකරු සිද්ධියෙන් පසුව පලා ගොස් ඇති අතර, එම සැකකරු මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන අයකු බවට හඳුනා ගත් බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පැවසීය.

අනතුරින් තුවාල ලැබූ බස් රථ රියැදුරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට භාජන කිරීමට නියමිතව තිබූ අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment