21 රටත් ජාතියත් විනාශ කරන මර උගුලක්!

247

අධිරාජ්‍යවාදීන්ගේ සුරතලා වූ රනිල්ට ගෝඨාභය බලය පවරලා

21 වන සංශෝධනයේ අරමුණ අපගේ සභ්‍යත්වයේ පසුබිම වන සිංහල බෞද්ධ උරුමය සම්පූර්ණයෙන්ම අතුගා දමා මේ රට අධිරාජ්‍යවාදීන්ගේ කෙළිබිමක් බවට පත්කිරීම බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පැවසීය.

අමරසේකර මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ජාතික සංවිධාන එකමුතුව, ජාතික මහජන සභාව, 56 දරුවෝ සංවිධානය යන සංවිධාන විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘21 වැනි ව්‍යවස්ථා සංශෝධන මර උගුලට පය නොතබමු’, ‘හැටඑක් වැදෑරුම් සමාජ ගිවිසුම’ සහ ‘ජාතියේ ඉරණම තීන්දු කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය’ යන පොත් ත්‍රිත්වය එළිදැක්වීමේ උත්සව සභාව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

අපගේ මිතුරන් සහ සතුරනුත් 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සලකා බලන්නේ 19 වන සංශෝධනය මගින් ස්ථාපිත කළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට දරන ප්‍රයත්නයක් ලෙස. ඒ වගේම 21 වන සංශෝධනය සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙසත් ඔවුන් සලකනවා. එහෙත් අපි මෙම සංශෝධනය සලකන්නේ මේ රටෙත්, ජාතියෙත් අවසානය ළඟා කරන මරඋගුලක් ලෙසයි. මම හිතන විදියට මෙම සංශෝධනයේ අවසාන අරමුණ තමයි අපේ ජාතිකත්වයේ පසුබිම වන සිංහල – බෞද්ධ උරුමය සම්පූර්ණයෙන්ම අතුගා දමා මේ රට අධිරාජ්‍යවාදීන්ගේ කෙළිබිමක් බවට පත් කිරීමයි. එය අපද අධිරාජ්‍යවාදයේ දිගුවක් බවත් අපි තේරුම් ගත යුතුයි.

මෙම තත්ත්වය තේරුම් ගැනීම සඳහා අපි ආපදා අධිරාජ්‍යවාදය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි.

ආපදා අධිරාජ්‍යවාදය කියන්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අලුත්ම අවිය තමයි. මෙම අලුත්ම උපක්‍රමයට අනුව යම්කිසි රටක ආපදාවක් තිබෙනවා නම් යම් කිසි රටක් අනාගතභාවයට පත්වී තිබෙනවා නම් ඒ වගේම යම්කිසි රටක කැළඹීම් තත්ත්වයක් තිබෙනවා නම් අධිරාජ්‍යවාදීන් එම රටට බැහැල එම තත්ත්වය උපයෝගී කරගෙන එම රට යටත් කර ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා තිබෙන හොඳම උදාහරණ තමයි පසුගිය කාලයේ ඉරාකයේ සහ ලිබියාවේ සිදුවු සිදුවීම්. බටහිර අධිරාජ්‍යවාදීන් අපි වගේ පුංචි රටවල් යටත් කර ගැනීම සඳහා එම උපක්‍රමය දිගින් දිගටම යොදා ගනිමින් සිටිනවා. අද වන විට අපගේ අසල්වැසි ඉන්දියාවත් එම උපක්‍රමය ප්‍රගුණ කරමින් සිටින බව පේන්න තිබෙනවා.

ආපදා අධිරාජ්‍යවාදය ක්‍රියාවට නැඟීමේදී අධිරාජ්‍යවාදීන් ක්‍රියාමාර්ග තුනක් අනුගමනය කරනවා. පළමු උපක්‍රමය තමයි රෙජිම් චේන්ජ් කියන එක. ඒ කියන්නේ තමන්ට සතුරු පාලකයෙකු සිටිනවා නම් ඔහු වෙනස් කිරීමට ඝාතනය කිරීමට කටයුතු කිරීම. එලෙස බලයේ සිටින පාලකයා වෙනස් කරලා පත් කිරීමට තමන්ට හිතවත් පාලකයෙකු නැතිනම් ත්‍රස්තවාදී කණ්ඩායමකට හෝ ඔවුන් බලය ලබාදෙනවා. ඔවුන්ගේ දෙවන උපක්‍රමය තමයි ව්‍යවස්ථාව වෙනස් කිරීම. ව්‍යවස්ථාව වෙනස් කරන්නේ සාමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. එම ව්‍යවස්ථා සංශෝධන මගින් අපේක්‍ෂා කරන්නේ තිබෙන අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය කරලා තමන්ට පය ගහන්න පුළුවන් තත්ත්වයක් ඇතිකර ගැනීම. තුන්වන පියවර තමයි සුබ්‍රමනියම් සාමි ප්‍රකාශ කළ ආකාරයේ හමුදාමය මැදිහත්වීමක් කිරීම.

ආපදා අධිරාජ්‍යවාදීන් අපේ රට තුළ ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ නම් ඊට වඩා වෙනස් ආකාරයකට තමයි. අපේ රට තුළ ඔවුන් ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ ඉතාම සැඟවුණු ආකාරයකට තමයි. ඊට තිබෙන හොඳම උදාහරණය තමයි පසුගිය දවස්වල රෙජිම් චෙන්ජ් එකක් සිද්ධ වුවත් තවමත් ජනතාව ඒ පිළිබඳව දැනුවත් නැහැ. ජනතාවගේ ඇහැට වැලි ගහල තමයි මේ අපේ රටේදී රෙජිම් චේන්ජ් එක කළේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ගේ බලය කැමැත්තෙන්ම ලබාදීලා තිබෙනවා. නමුත් සමහරු තාමත් හිතන් සිටිනවා තවමත් රාජාසනයේ ඉන්නේ 69 ලක්‍ෂයක් ඡන්දය ලැබුණු ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියලා. සිරිසඟ බෝ රජතුමා හිස දන්දුන් ආකාරයට ගෝඨාභය මහතා ලබාදීලා තිබෙනවා අධිරාජ්‍යවාදීන්ගේ සුරතලෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාට. මට නම් සිතාගන්න බැහැ අහවල් කටයුත්තකට ඒක කළාද කියලා. සමහර විට අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම නිසා ඒ ආකාරයට බලය ලබාදෙන්න ඇති. නැතිනම් තමන්ගේ කැමැත්තෙන්ම බලය ලබාදෙන්න ඇති.

ආපදා අධිරාජ්‍යවාදීන්ගේ දෙවන පියවර තමයි ව්‍යවස්ථා සංශෝධන ඇති කරන එක. එම කටයුත්තත් මේ වන විට අප රට තුළ ඉතාම රහස්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම බව විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබුණා. ඒත් මම හිතන්නේ නැහැ අධිරාජ්‍යවාදීන්ගේ අභිලාෂය ඒක කියලා. මම සිතන ආකාරයට ඔවුන්ට ඊට වඩා යම් අරමුණක් තිබෙනවා. පසුගිය කාලයේ ඉන්දියාව දිගින් දිගටම ප්‍රකාශ කළා. ව්‍යවස්ථාව වෙනස් කරලා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව. මම සිතන ආකාරයට ඔවුන්ගේ යටි අරමුණ ඒක තමයි.

21 වන ව්‍යවස්ථා සංශෝධනයට 13 වන ව්‍යවස්ථාවට අදාළ සංශෝධන ඇතුළත් කරනවා නම් ඒක ජාතික අපරාධයක් ලෙස තමයි මම සලකන්නේ. ඒ වගේම එය සියතින් ගෙල සිඳගැනීමක් ලෙසත් මම දකිනවා. අද වන විට තිබෙන ලොකුම ඛේදවාචකය මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම නොවෙයි. ඊට එරෙහිව කිසිදු විරෝධයක් නොමැති වීම තමයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment