සජබට එරෙහි ඩයනාගේ පෙත්සම ජුනි 8 සිට විභාගයට

63

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) දින නියම කළේය.

මෙම පෙත්සම ඊයේ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම ජුනි මස 8 වැනිදා විභාගයට ගන්නා බවය.

පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රී ධුරයෙන් නෙරපීමට කටයුතු කර ඇති බවය. එම තීරණයට එළඹීමට පෙර වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බවත්, මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරිය විසින් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සමෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසක් නම් කර තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment