කඳුකර ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී කටයුතු කරනවා

78

භාරත් ලංකා නිවාස ව්‍යාපෘතියට මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ එක්වෙමින් ජනපති පවසයි
ඉන්දීය රජයේ කැපවීමට කෘතඥතාව පළකරනවා- ඇමැති ජීවන් තොන්ඩමන්

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 වැනිදා) පැවසීය.

ඒ සඳහා ඉන්දීය රජය ලබාදෙන සහාය ඉතා අගය කරන බවත් හෙතෙම කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක “භාරත්-ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (19 වැනිදා) ජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

“භාරත්-ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක ඉදිකිරීමට නියමිත නිවාස 1300ක් සඳහා මුල් ගල් ලැබීම සනිටුහන් කරමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගත වන අවස්ථාවේ ඉන්දියානු රජය විසින් මෙම නිවාස ව්‍යාපෘතිය ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව මම ඉන්දියානු රජයට නැවත ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන් කඳුකරයේ දමිළ ජනතාවට විශාල අඩුපාඩුවක් වූයේ තමන්ගේ නමට ඉඩමක් සහ නිවසක් නොමැති වීමයි. ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් සියල්ල අද තහවුරු වී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ලබාදිය යුතුව තිබෙනවා. එම ක්‍රියාවලිය තමයි අද රජය මේ ආරම්භ කර තිබෙන්නේ. එම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට වතු සමාගම් සමඟ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව අදාළ නිවාස වැඩසටහන් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරනවා. ඒ වගේම වතුකරයේ අධ්‍යාපනය දියුණු කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වතුකරයේ අධ්‍යාපනය අනෙකුත් පළාත්වල අධ්‍යාපනය සමඟ සංසන්දනය කරනවිට අඩු මට්ටමක පවතිනවා. එබැවින් මේ සියලු පාසල්වල එක සමාන අධ්‍යාපන තත්ත්වයක් ඇති කළ යුතුයි. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, වෘත්තීය පුහුණුව ලබා ගැනීම විශේෂයෙන් විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීම වැනි පහසුකම් මෙම තරුණ තරුණියන් වෙනුවෙන් ද සලසාදිය යුතුයි. වතුකරයේ සේවකයන් ලෙස කටයුතු කරනවාද, නැත්නම් වතුකරයේ තිබෙන ගිවිසුම අනුව ඉඩම් කොටසක් භාරදී සුළු තේ වතු හිමියන් හා සමාන තත්ත්වයකට එම ජනතාව ගෙන එනවාද යන්න පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා. මෙහි සිටින සියලු දේශපාලන නියෝජිතයන් එක් කර ගනිමින් පක්ෂ භේදයකින් තොරව මේ පිළිබඳ යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නවලට එකින් එක විසඳුම් ලබාදීමට රජය කටයුතු කරනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සමඟම කඳුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදී රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ගමනට අප සූදානම් විය යුතුයි. රට පත්ව තිබූ අවාසනාවන්ත තත්ත්වය හමුවේ අප කාලයක් දුක් වින්දා. නමුත් අද අපට බංකොලොත්භාවයෙන් නිදහස් වී යළි ආර්ථික කටයුතු ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. මම භාරගත්තේ ආහාර නැති, ඉන්ධන නැති රටක්. අද ආහාර, ඉන්ධන තිබෙනවා. නමුත් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට බදු බර වැනි ප්‍රශ්න තිබෙනවා. නමුත් එම බර හැමදාම තිබෙන්නේ නැහැ. තව මාස කිහිපයක් යනවිට ජනතාවට සහන ලැබෙනවා. පසුගිය ආර්ථික අර්බුදයෙන් අපට ඉදිරියට යෑමට හැකියාව ලැබුණේ ඉන්දියාවෙන් ලබාදුන් මුදල් නිසා බවද සිහිපත් කළ යුතුයි. ඒ මුදල් ටික නොලැබුණා නම් අපට ඉදිරියට යෑමට අපහසු වෙනවා. ඒ වගේම ඉන්දියාව සමඟ තිබෙන ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට අප දැන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ඉන්දියාවේ ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණුවන අවස්ථාවක්. එවැනි අවස්ථාවක අප රටවල් දෙක අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අවධානය යොමු කරමින් මෝදි අගමැතිතුමා හමු වූ අවස්ථාවේ දී අප ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මෙම වැඩසටහන ආරම්භ කිරීමට සහය දුන් ඉන්දීය රජයට නැවත මාගේ ස්තුතිය පළ කර සිටිනවා.

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා –

මෙම ව්‍යාපෘතිය හුදෙක් නිවාස 1300ක ව්‍යාපෘතියක් පමණක් නොවෙයි. අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු අපට ලබාදෙන බවට පොරොන්දු වූ නිවාස 10,000 යෝජනා ක්‍රමයේ ආරම්භයද වෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව වෙනුවෙන් සිදුකරන මෙම කැපවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට මාගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. මීට වසර 200කට පෙර උඩරට දෙමළ ජනතාව තමිල්නාඩුව හැර ගිය බවත්, දික්ඔය රෝහල, මෙන්ම මීට පෙර නිවාස 4,000ක ව්‍යාපෘතිය මෙන්ම නව නිවාස 10,000 ව්‍යාපෘතිය, ශිෂ්‍යත්ව, ස්මාර්ට් පන්ති කාමර 63 සහ විවිධ ව්‍යාපෘති ඇතුළත්ව අද වන විට ශ්‍රී ලංකා රජය වතුකරයේ දෙමළ ජනතාව වෙත නවීන පහසුකම් ලබා දෙමින් සිටින බවත් තමිල්නාඩුවේ මහාබලිපුරම්හී ඔහු සිදු කළ කතාවෙන් පිළිබිඹු වුණා. ඒ වගේම කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් රුපියල් බිලියන 3 ක මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා රජයට ලබාදුන්නා. ඉන්දීය රජය සහ ජනතාව විසින් ලබාදුන් ආධාර සහ සහයෝගය වෙනුවෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා –

මෙම ව්‍යාපෘතිය ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන වැදගත්ම ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට සහයෝගය දැක්වීම සඳහා ඉන්දීය රජයේ මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ගැඹුරු සහ ස්ථිර කැපවීම මෙමඟින් අවධාරණය කෙරෙනවා. මෙම නිවාස ව්‍යාපෘතිය පළාත් හයක වතු 250කට වැඩි ප්‍රමාණයක අඩු වරප්‍රසාද ලත් ජන කොටස් සඳහා සෙත සලසනවා. මෙම නිවාස 10,000 ව්‍යාපෘතිය, මීට පෙර වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අමතරව සිදු කෙරෙන ව්‍යාපෘතියක් බව කිවයුතුයි.

මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් ප්‍රමුඛ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment