උශාන් ද චීනයේ නොගොස් යුපුන් ගිය මග යයි – උස පැනීමේ බලාපොරොත්තුවත් සුන්

948

උස පැනීමේ ජාතික ශූරයා වන උශාන් තිවංක ආසියානු ක්‍රීඩා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඔහු 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහ 25 වෙනි ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය (2023) සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මීට පෙර තෝරාගනු ලැබුවද එම අවස්ථා දෙකටද සහභාගි වීමෙන් වැළකී සිටියේය.

ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගි නොවීමේ තීරණය උශාන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දැනුම් දී ඇති අතර ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවට සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඒ පිළිබඳව දැනුම් දීමට ද මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇත.

මීට පෙර කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ද ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළේය.

ඒ අනුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සහභාගීත්වය 16 සිට 14 දක්වා අඩුවී ඇත. ඒ ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් හත්දෙනකු බැගිනි. මේ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තුවද 2 දක්වා අඩු වී ඇත.

චීනයේ හැංශුයි හිදී පැවැත්වෙන මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් පහක් බලාපොරොත්තු වූ අතර ඉන් පදක්කම් 2 ක් යුපුන් අබේකෝන්ගේ මීටර් 100 සහ මීටර් 200 ඉසව්වවලිනි. උශාන් තිවංකගේ උස පැනීමේ ඉසව්වෙන් ද තවත් පදක්කමක් බලාපොරොත්තු විය.

ලබන 29 සිට ඔක්තෝම්බර් 8 වැනිදා දක්වා ආසියානු ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරඟ පැවැත්වීමට නියමිතය.

උස පැනීමේ ශූර උෂාන් සිය ඉසව්ව මීටර් 2.30 කින් නිමකොට සිය උපරිම දක්ෂතා දක්වා තිබුණි. කෙසේ වුවද 25 හැවිරිදි ඔහුට පසුගිය වකවානුවේ එම දක්ෂතාව අභිබවා ලීමට හෝ ආසන්න වීමට නොහැකි විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ඉගෙනුම ලබන උශාන් වසර කිහිපයකින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදාළ ඉසව්වට සහභාගි වී නැත.

අවසන් වරට පැවැති 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා උශාන් නම් කොට තිබූ නමුදු පරිපාලනයේ සිදුවූ ප්‍රමාදදෝෂයක් හේතුවෙන් ඔහුගේ සහභාගිත්වය ප්‍රතික්ෂේප කිරීමට ආසියානු ක්‍රීඩා බලධාරීහු කටයුතු කළහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment