දැය සසුන පොබකළ – නැණගුණ කඳින් සුවිපුල දෙස්විදෙස් සුපතළ- දිවියගහ නා සමිඳු මනකල

79

යමකුගේ කෙස් පැසුණු නිසාවෙන් ඔහු ස්ථවිර නොවෙති. වියපත් බව පමණක් කෙස් පැසීමෙන් හඳුනාගත හැකිය. ගුණ නැණ තුළින්ම ථේරත්වය හඳුනාගත යුතු බව (න තෙන ථේරො හොති) බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි. ථේරීය සම්ප්‍රදායට අයත් එවන් ථේර ගුණයෙන් අනූන නැණ ගුණ සපිරි, තවත් ශතවර්ශ කිහිපයක් යනතුරු ජන මනසේ නොමැකී සිටීමට තරම් දේශනයෙන්, භාෂණයෙන්, පරාර්ථකාමීත්වයෙන් ජන හදවත් දිනූ පරමාදර්ශී භික්‍ෂු චරිතයක් ලෙස මෙවකට ස්වකීය අනූවැනි (90) ජන්ම දිනය යෙදී ඇති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උපාධ්‍යාය ධුරන්දර, ලෝක බෞද්ධ සම්මේලනයේ අනුශාසක, අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නායක මාහිමිපාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය.

වර්ෂ 1935 ජනවාරි 02 මාතර, දීයගහ ඩී. එන්. රත්නායක මහතා සහ ඩී. එල්. ඩී. ප්‍රන්සිනා මහත්මිය දෙමව්පියන් කොට මෙලොව උපත ලද අප නාහිමිපාණෝ 1940 දීයගහ බටහිර රජයේ විද්‍යාලය හා 1946 කඹුරුපිටිය ඊරියතොට රජයේ විද්‍යාලය යන විද්‍යාලයන්ගෙන් ස්වකීය ළමා කල අධ්‍යාපනය ලදහ. 1947 ඔක්තෝබර් 08 වැනි දින මාතර පොල්හේන පුරාණ මහා විහාරාධිපති පූජ්‍ය ගණේගම අත්ථදස්සි මාහිමි, මාතර දීයගහ බෝධිරුක්ඛාරාම පුරාණ විහාරාධිපති පූජ්‍ය දිවියාගහ විපුලතිස්ස මාහිමිවරුන් ආචාර්යයන් වහන්සේලා කොට පැවිදි දිවියට පත් දිවියාගහ යසස්සි පොඩි හාමුදුරුවෝ මූලික පැවිදි අධ්‍යාපනය මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනෙන් ද උසස් අධ්‍යාපනය පෙරාපර දෙදිග ප්‍රාචීන අධ්‍යාපනයේ තක්ෂිලාව වන් මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනෙන් ද ලබාගත්හ. අනතුරුව 1959 සිට විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් (නූතන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උපාධි අධ්‍යාපනය ලදහ. අනතුරැව 1955 මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් අප ස්වාමිපාදයාණෝ ඉතා වැදගත් අධ්‍යාපන, ශාසනික හා ශාස්ත්‍රීය සේවයකට මුලපිරූහ.

1962 දී මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනෙන් ගුරු සේවයට අවතීර්ණ වූ උන්වහන්සේ 1962 දී රජයේ පළමු ගුරු පත්වීම හක්මණ කෝංගල මහා විද්‍යාලයටත් අනතුරුව මාතර පාලටුව ගුණරතන මහා විද්‍යාලයටත්, කඩුවෙල බෝමිරිය මහා විද්‍යාලයටත් පත්ව 1970 ජූලි 28 දින කෙළඹ ආනන්ද විද්‍යාලයේ විසිඑක් වසරක අඛණ්ඩ ගුරු සේවය – සහකාර විදුහල්පති ධුරය දක්වා පත්වෙමින් නිමා කළහ. එසේම උන්වහන්සේ රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විද්‍යාලයාධිපති ධුරය දරමින් සිදුකළ මෙහෙවර අමිලය. මීට අමතරව නාහිමියෝ ග්‍රන්ථ

ගණනාවක කතුවරයෙක් වෙති. ලංකාව හා ආසන්න රාජ්‍යයෝ නම් සුප්‍රකට ග්‍රන්ථය ලියා ප්‍රසිද්ධියට පත්කිරීම උන්වහන්සේගේ ශාස්ත්‍රීයත්වය පිළිබඳ කියාපායි. අ.පො. ස. උසස් පෙළ විභාගය සඳහා බෞද්ධ සංස්කෘතික ලේඛන සංග්‍රහය ලියා පළ කිරීම ‘දිවිමගට එළිය දෙන දම් දෙසුම්’ ග්‍රන්ථය පළ කිරීම THE WAY TO HAPPINESS, KARMA AS TAUGHT IN BUDDHISM යන ග්‍රන්ථ එළිදැක්වීම, බුදුන් වදාළ දිවිමගට උපදෙස් නම් ග්‍රන්ථය එළිදැක්වීම තවත් පනහකට අධික කුඩා ධර්ම ග්‍රන්ථ ලියා පළකිරීම පුවත්පත් හා සඟරා ආදියට කාලීන හා ශාස්ත්‍රීය ලිපි සැපයීම ආදී කරුණු රැසකින් අප නාහිමියෝ ශාස්ත්‍රීය ලෝකය ආලෝකවත් කළහ.

ආගමික හා සාමාජික සේවය ලෙස ගල්කිස්ස, වටරප්පල පාරේ තම පෞද්ගලික ධනයෙන් ඉඩමක් මිලදීගෙන 1984 දී බෞද්ධායතනය නමින් විහාරස්ථානයක් ආරම්භකොට මේ වනවිට දෙමහල්, තෙමහල් සිවුමහල් ගොඩනැඟිලි හා චෛත්‍යය, බෝධිය, විහාර සහිතව අංගසම්පූර්ණ විහාරස්ථානයක් ගොඩනැඟීම, බෞද්ධායතන සීල භාවනා සංවිධානය ආරම්භ කොට ආගමික වැඩසටහන් සංවිධානය කිරීම, බෞද්ධායතන සංවර්ධන සංගමය නමින් දායක සභාවක් ආරම්භ කොට එමගින් දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවලට හා ජනතාවට විවිධ සේවාවන් හා පරිත්‍යාගයන් සිදුකිරීම, පොලොන්නරුව, වැලිකන්ද, කඩවත්මඩුව, මෛත්‍රීගම, කුරුලුබැද්ද, සෙවනපිටිය, මධුරංගල, පූනානි, සේරුවාවිල, නීලපොල ආදී දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවල, ආවාසගෘහ, ධර්මශාලා, විහාර මන්දිර, චෛත්‍ය හා වැසිකිළි කැසිකිළි පහසුකම්, පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම හා එම ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර, ඇඳුම් ඇතුළු විවිධ පරිත්‍යාගයන් සිදුකිරීම, වාර්ෂිකව ගව අභයදාන පිංකම සිදුකරමින් මේ වනවිට ගවයන් දහසකට ආසන්න ප්‍රමාණයක් සදහා අභයදානය ලබාදීම හා එම ගවයන් අනුරාධපුර, පොලොන්නරුව ආදී දිස්ත්‍රික්කවල දුෂ්කර ප්‍රදේශවල කිරිගොවීන් අතර බෙදාදීම උන්හන්සේගේ මානව දයාව හා කරුණා ගුණය පිළිබඳ ප්‍රායෝගික නිදසුන්ය. බෞද්ධායතන ප්‍රජා සේවා පදනම ආරම්භ කොට සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට නිවාස සාදාදීම හා වෙනත් බොහෝ ආධාර ලබාදීම, ආර්ථික අපහසුතා ඇති අය වෙනුවෙන් නිවාස ඉදිකර දීම, රෝගීන් වෙනුවෙන් රෝද පුටු, අත්වාරු ලබාදීම, විවිධ අවස්ථාවන්හි ස්වාභාවික ව්‍යසනයන් හමුවේ විපතට පත්වූවන් වෙනුවෙන් ආධාර උපකාර කිරීම, වටරප්පල පොදු සහන සේවා සමිතිය ආරම්භ කොට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායන ආදිය පැවැත්වීම, දුෂ්කර ප්‍රදේශවල වෛද්‍ය සායන පැවැත්වීම, ඇස්කණ්ණාඩි බෙදාදීම අප නාහිමියන්ගේ සමාජ සේවාවන් අතර කිහිපයක් පමණි.

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පවත්වන ලංකාවේ මුල්ම දහම් පාසල ලෙස බෞද්ධායතන ධර්ම විද්‍යාලය ආරම්භ කිරීම, බෞද්ධායතන ධර්ම විද්‍යාලය ලංකාවේ හොඳම ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල ලෙස වසර ගණනාවක සිටම සම්මානයට පාත්‍රවීම හා එම ධර්ම විද්‍යාලය ලයිට් ඔෆ් ඒෂියා වැනි ජාතික මට්ටමේ තරගවලින් විශිෂ්ට ජයග්‍රණ ලබාගැනීම උන්වහන්සේගේ සේවාවෙහි අග්‍රඵලයන් ය.

ඉන්දියාව, තායිලන්තය, බුරුමය, වියට්නාමය, තායිවානය, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං, ජපානය, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, රුසියාව, මොංගෝලියාව ආදි රටවල ධර්ම ප්‍රචාරක කටයුතු හා විවිධ සම්මේලන සඳහා සහභාගි වෙමින් ජාත්‍යන්තර ධර්මදූත සේවයේ ද නියැළීමට උන්වහන්සේ සිය වටිනා කාලය කැප කළහ.

මීට අමතරව උගත් ශිෂ්‍ය පුත්‍රයන් ගණනාවක් ම සසුනට දායාද කළ අප නාහිමියන්ගේ ශාසන සේවය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම අගණිතය. අනූවැනි වියට පාතබන පරම පූජනීය දිවියාගහ යසස්සි අප නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.

පැපිලියාන සුනේත්‍රා මහාදේවි
පිරිවෙන් රාජමහා විහාරාධිපති
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

මැදගොඩ අභයතිස්ස ස්ථවිර


advertistmentadvertistment