දැරියට අතවර කළ කට්ටඩියාට වසර 60ක සිරදඬුවම්

581

කාන්තාවකගේ රෝගයකට භූත බලයෙන් ප්‍රතිකාර ලබාදී සුවපත් කර දෙන බව පොරොන්දුවී ඇගේ නිවසට පැමිණ වසරකට ආසන්න කාලයක් තිස්සේ එම කාන්තාවගේ 14 හැවිරිදි දියණිය වරින් වර දූෂණය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ 38 හැවිරිදි කට්ටඩියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා පෙරේදා (05 දා) බරපතළ වැඩ සහිත වසර 60 ක සිර දඬුවම් නියම කර එකී සිර දඬුවම් කාලය එකවර එනම් වසර විස්සකින් ගෙවී යන පරිදි ලබාදීමට නියෝග කළේය.

අනුර දිසා වෙල්ගමගේ නමැති එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ චෝදනා තුනටම ඔහු වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරයා වෙන් වෙන්ව වසර 20 බැගින් සිර දඬුවම් නියම කර රු. 60,000ක දඩයක් ගෙවීමට ද විත්තිකරුට නියම කළේය.

එම විත්තිකරු එකී රෝගී කාන්තාවගේ නිවසට පැමිණ එහි කාමරයක දේවාලයක් සාදා ශාන්තිකර්මයක් කරන මුවාවෙන් එහි නතර වී ඇති බවත් ඒ අතරතුර තමා සමඟ ලිංගිකව ඇසුරක් නොපැවැත් වුවහොත් හා එකී ලිංගික ඇසුර ගැන කිසිවෙකුට ප්‍රකාශ කළහොත් දැරියගේ මව මරණයට පත්වන බව පවසා තර්ජනය කර පුරා වසරකට ආසන්න කාලයක් එලෙස වරින් වර ලිංගික අතවර කර තිබුණු බව පැමිණිල්ලෙන් කියැවිණි. 2013.1.1 වැනිදා හා 2013.11.30 වැනිදා අතර කාලය තුළදී සිදුවී ඇති එකී අපරාධය පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ විමර්ශන උද්ධෘත සලකා බැලූ නීතිපතිවරයා පවරා තිබූ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පෙරේදා (05 දා) කැඳවිණි. එම විත්තිකරු චෝදනා තුනටම වරදකරු බවට තම අධිකරණය විසින් නිගමනය කර ඇති බව පෙන්වාදීමෙන් අනතුරුව අධිකරණය ඇමැතූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා මෙලෙස පැවසීය.

“ස්වාමීනි, ළමුන්ට හා කාන්තාවන්ට සිදුවන අපරාධ මැඬපැවැත්වීම කොතරම් නීති අණ පනත් පැනවුවත් පසුගිය අවුරුදු 10-15 තුළ භූත බලයෙන් හා ගුරුකම් මගින් ලෙඩ රෝග සුවකරන බවට ජනතාව මුලාකර සිය පහත් ආසාවන් ඉටුකර ගන්නා මෙවැනි කෛරාටික කට්ටඬියන්ගේ ග්‍රහණයට අසුවන පිරිස ඒ නිසා අපරාධවලට ගොදුරු වන පිරිස වැඩිවෙලා තියෙනවා.

මිනිසුන් රවටලා සිය අස්වාභාවික ලිංගික ආසාවන් සපුරාගන්න මාන බලන මෙවැනි පුද්ගලයන්ට දඬුවම් දිය යුත්තේ අනෙක් අයටත් පාඩමක් ඉගෙනගත හැකි අයුරින්. මෙවැනි විත්තිකරුවන් විශ්වාස කරලා ගෙට ගන්න අයගේ අන්ධ විශ්වාසය නිසා ළාබාල තරුණියකගේ ජීවිතයට පිරිමැසිය නොහැකි හානියක් සිදුවෙලා තිබෙනවා. තමා සමග ලිංගිකව එක් නොවුණොත් අම්මා මැරෙනවා කියලා විටෙක රවටලා විටෙක තර්ජනය කරලයි මේ අපරාධය කරලා තියෙන්නේ. මෙවැනි අයට උපරිම දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.”එකී විත්තිකරු එම වරද සිදුකරන විට වයස අවුරුදු 27 ක අවිවාහක තරුණයෙක් බවත් මේ වනවිට 38 හැවිරිදි ඔහු සිය වයෝවෘද්ධ මව රැකබලා ගැනීමට සිටින එකම රැකවලා වන බැවින් සක්‍රීය සිරදඬුවම් නියම නොකරන ලෙස එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය. විත්තිකරුට සිය අධිකරණය විසින් වසර 20ක සක්‍රීය සිරදඬුවම් නියම කර ඇති නිසා අගතියට පත් තරුණියට වන්දියක් ගෙවීමට නියම නොකරන බවද මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment