දිනක ආදායම රු. 500 ට අඩු නම් අන්ත දිළිඳු කාණ්ඩයේ

229

එ.ජා.සංවර්ධන වැඩසටහන කියයි

වර්තමාන ගෝලීය ආර්ථික තක්සේරුවට අනුව දිනකට ඩොලර් 1.5කට වඩා (රුපියල් 500ක් පමණ) අඩුවෙන් ආදායම් ලබන අය අන්ත දිළිඳු කාණ්ඩයට අයත් යැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් සඳහන් කරයි. තිරසර ගෝලීය සංවර්ධනයට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ නවතම යෝජනාවලියේ මේ බව සඳහන් කර ඇත.

මෙම යෝජනාවලිය ඉදිරිපත් කළේ ඊයේ (11දා) කොළඹ ගලධාරි හෝටලයේදී ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල අනාගතය සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් පැවති දෙදින වැඩමුළුවේ අවසන් දින සැසියේදීය. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින තානාපතිනි කැමරන් මොරෙනෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සැසිය පැවැත්විණි. එහිදී එළිදැක්වූ යෝජනාවලියට අනුව 2030 වසර වන විට දරිද්‍රතාවෙන් පෙළෙන සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ශක්තිමත් කිරීම, අවම වශයෙන් සංවර්ධනය වූ රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීම ඉලක්ක කර ඇත. අවුරුදු 05ට අඩු ළමුන් සම්බන්ධයෙන් මිටි වීම සහ ක්ෂය වීම පිළිබඳ අන්තර්ජාතික වශයෙන් එකඟතාවට පත් ඉලක්ක 2025 වසර වන විට ළඟා කර ගැනීම ද මෙහි අරමුණය.

දුගී බව තුරන් කිරීම, සාගින්න නැතිකිරීම, නිරෝගී ජීවිත, ගුණාත්මක අධ්‍යාපනයක්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සැමට ජලය, නවීන බලශක්තිය, නගර සහ ජනාවාස සකස් කිරීම, දේශගුණික විපර්යාස සහ ඒවායේ බලපෑමට එරෙහිව නැගී සිටීම, සාමකාමී සමාජයක් ගොඩනැගීම ඇතුළු ඉලක්ක 17ක් සපුරා ගැනීම මෙම යෝජනාවලියේ අරමුණු බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment