මිතුරන් සමග හැංගිමුත්තන් කළ සිසුවා උඩුමහලින් බිමට වැටී මිය යයි

99

මව්වරුන් පවුලේ ආර්ථික අපහසුතා නිසා රුපියල් සතසොයා විදේශගත වූවත් අද මේනිසාම, පවුලේ අනාරක්ෂිත තත්ත්වය වර්ධනයවී ජීවිත විනාශ වෙනවා. දරුවන්ගේ රැකවරණය නැතිවීමෙන් විවිධ සමාජ උවදුරුවලට ලක් වෙනවා. එපමණක්ම නොව රටක් වටින දරුවන් රටට අහිමිවෙනවා යැයි කෝවාන ශ්‍රී සුමංගල පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති උයන්දන කෙත්තාරාමාධිපති පූජ්‍ය කෝවානේ පාලිත හිමියෝ පැවසූහ.

පාසල් නිවාඩු කාලයේ ගමේ මිතුරන් සිව්දෙනකු සමග හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි සුදේශ මධුසංඛ කුලවීර දරුවා නිවස සමීපයේ අලුතෙන් ඉදිකරමින් තිබෙන නිවසේ උඩුමහලේ සිට බිමට වැටී සිටියදී ඔහුගේ හිස මතට කොන්ක්‍රීට් ගල්කැට පෙරළීමෙන් බරපතළ ලෙස තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. විදේශගතව සිටි මව පැමිණීමෙන් පසු ජීවිතක්ෂයට පත් මධුසංඛගේ අවසන් ආගමික කටයුතු සඳහා වැඩම කළ පූජ්‍ය කෝවානේ පාලිත හිමියෝ මෙසේ පැවසූහ.

‘අද අපේ රටේ වැඩිම පිරිසක් අකාලයේ මිය යන්නේ විදේශගතවන මව්වරුන් නිසා. ඒවගේම තමයි යෞවනයේ පසුවන ආදරවන්තයින්. අකාලයේ මියගිය මේ දරුවා අපේ පන්සල සමග බොහොම සමීපයි. පොඩි උන්වහන්සේලා සමග එක්වී සෙල්ලම් කරනවා. ඒ ළමා කාලයේ ස්භාවය. මේ දරුවා අත්තම්මා ළඟ සිටියේ. මේ අත්තම්මට මම යෝජනා කළා දරුවා සසුන්ගත කරමු කියා. ඒ මෑණියන් කැමති වුණා. දරුවාගේ අම්මා ආවාම කැමැත්තගමු කීවා. දරුවා ඉස්සෙලා කැමැත්ත දැක්කුවේ නැතත් පසුව කැමති වුණා. මේ ගුණයහපත් දරුවා සාසනේටත් අහිමි වුණා.

ගමේ පන්සලේදී එකට දුව පනිමින් සෙල්ලම් කළ පොඩිහාමුදුරුවන් මධුසංඛ මිතුරාගේ වියෝවෙන් සොවට පත්වී ඔහුගේ පාංශුකූලයට වැඩමකර නැවත හමු නොවන මිතුරාගේ දේහය දෙස ඇසිපිය නොසලා බලා සිටීම මේ මොහොතේ ඉතා සංවේදජනක සිදුවීමක් විය.

හදිසි අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සුදේශ මධුසංඛ සිසුවාගේ අවසන් කටයුතු පසුගිය 5 දින හිදගොල්ල ගල්පොත්තවත්ත සුසාන භූමියේදී සිදු කෙරිණි.

හිදගොල්ල, ගල්පොත්තවත්ත, ඥානවති අත්තම්මාගේ නිවසේ පදිංචිව සිටි සුදේශ මධුශංක (15) දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ 2024 වසරේ 10 ශ්‍රේණියට සමත්වී සිටි සිසුවෙකි. මධුසංඛ සහෝදරයන් තිදෙනෙකු සිටින පවුලේ බාල දරුවා වන අතර, පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර පවුලේ ආර්ථිකය ගොඩනැගීම සඳහා මව විදේශ ගතවී ඇත.

සොවට පත්ව සිටි අත්තම්මා, අකාලයේ ජීවිතයෙන් සමුගත් මුණුබුරුගේ දේහය ළඟ හඬා වැලපුනේ මගේ පුතේ අලුත් පංතියට යන්න මහපු ඇඳුම් ටික තාම මහපු තැනමයි. ඒ ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ යන්න කවුද පුතේ… යැයි පවසමිනි.

සිය පවුල සහ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට වසර කීපයකට පෙර දරුවන් තම මවට භාරදී දුරු රටකට ගිය සුදේශ මධුසංඛගේ මව වන උදේනි ඒකනායකට සිය දරුවා අහිමිවීම සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ කිරීමට හිතහදා ගත නොහැකිව තම පුතුගේ දේහය සමීපයේ හඬා වැළපෙමින් සිටියාය.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment