දූෂණ චෝදනා තියෙන අයකුට මුදල් ඇමැතිකම දෙන්න හදනවා

1340

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන

ජනතාවට සෞභාග්‍යය ගේන්න ආපු අය තම තමන්ට සෞභාග්‍යය
උදාකර ගත්තා – බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ
හිටපු ලේකම් ලැසිල් ද සිල්වා

ජනතාවට සෞභාග්‍යය උදාකරන බවට ප‍්‍රකාශ කර බලයට පැමිණි පිරිස ජනතාවට සෞභාග්‍යය උදා නොකළේ එම පිරිස්වලට සෞභාග්‍යය උදාකර ගැනීමට යැයි බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්‍ෂ ලැසිල් ද සිල්වා මහතා ඊයේ (07 දා) පැවසීය.

සුනාමි ව්‍යසනය මෙරටට බලපෑ අවස්ථාවේ මෙරටට ඩොලර් මිලියන දෙකයි දශම පහක් (2.5) ලැබී ඇතත් ඉන් සියයට දහතුනක්වත් (13) සුනාමියෙන් විනාශ වී ගිය ආර්ථිකය ගොඩනැගීමට වැය කර නොමැති බව ඔස්ටේ‍්‍රලියාවේ නිකුත් කළ වාර්තාවක සඳහන් වී ඇතැයි ද ඒ මහතා කොළඹ ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

රට භයානක තැනකයි තියෙන්නේ. රටේ බහුතරය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 ම එපා කිව්වට රටක පැවැත්මට දේශපාලනය අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ කථානායකතුමාම කියනවා රටේ ආහාර හිඟයක් ඇති වෙයි කියලා. ආර්ථිකය කඩා වැටෙනවා කියනවා. එහෙම කියන්නේ රට පත්වෙමින් තියෙන අර්බුදය දකින නිසයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ තත්ත්වයෙන් මිදෙන විදිහක් ප‍්‍රකාශ කරන වගක් පේන්නත් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ සියලූ පක්‍ෂ කළ යුත්තේ ජනතාවට සහන දෙන වැඩපිළිවෙළක් ගැන සාකච්ඡුා කර අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමයි.

මේ රටේ සිදු වූ වංචා දූෂණ, ඒවට එරෙහිව ගත්ත ක‍්‍රියාමාර්ග නැති බව කීමට මට ඕනෑ තරම් උදාහරණ පවතිනවා. 2015 ජනතාව හොරු අල්ලන්න ආණ්ඩු පත්කළාම හොරු ආණ්ඩුව ඇල්ලූවා කිව්වා. රටේ පැරණි රජවරු සීගිරිය හැදුවා. තවමත් ඒක පෙන්නලා රටට ආදායම උපයනවා. ඒ වගේ බොහෝ ස්ථාන තියෙනවා. ඒ වගේ දේවල් රටේ පත්වුණු අපේ නායකයෝ කරල නැහැ. ‘‘ගෝඨා ගෝ හෝම්’’ කියන්නේ මිනිස්සු නිකම් නෙමෙයි. මමත් ඒකම කියනවා. කොහොම වුණත් මේ රට හදනවා නම් ජාතික ප‍්‍රතිපත්තියකුත් අවශ්‍යයි.

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා –

මේ පාලකයො අවුරුදු 30 ක් 40 ක් කරපු දේවල්වල ප‍්‍රතිඵලය තමයි අපට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මේ අය තියාගෙන තවත් ඉස්සරහට යන්න හදනවා නම් ඒක මෝඩ වැඩක්. මුදල් ඇමැතිකම ගන්න කෙනෙක් නැතිවෙලා තියෙනවා. මේ ඇමැතිකම දූෂණ වංචා චෝදනා එල්ල වී සිටින ඇමැතිවරයකුට දෙන්න හදනවා. ඒක කළොත් රටට තවත් අයහපතක් ඇති වෙයි.

මේ 225 ගේන්නෙ නැතිව අගවිනිසුරුවරයා හෝ බලයට ගෙන විද්වත් පිරිසක් මගින් රට කාලයකට පාලනය කරන්න අවස්ථාව උදාකර දිය යුතුයි. රාජ්‍ය සේවය හූරා කනවා. අමාත්‍යාංශවල වාහන ටික ගත්තොත් සුඛෝපභෝගී වාහන කොච්චර තියෙනවාද? මේවා කවුද ගත්තෙ. ඇමැතිවරු ඔවුන් ඒවා අමාත්‍යාංශවලට ගෙන පසුව පරිහරණය කරනවා. මේවා නැවැත්විය යුතුයි.

මේ විදියට ගියොත් ඉදිරි මාසය මීට වඩා අමාරු වෙයි. මේ ජනතාවගේ මුදල් හොරකම් කරපු පිරිසට රටින් පිටවීමට අවස්ථාව නොදිය යුතුයි.

චමින්ද සිල්වා
පින්තූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment