විදුලි බිලට සහනයක් දෙන බව කීව ආණ්ඩුව අද මුනිවත රකිනවා – තිස්ස අත්තනායක

36

භාෂණයේ නිදහස වළ දමන ඔන්ලයින් පනත අස්කර ගන්න- ආචාර්ය ධනවර්ධන ගුරුගේ

විදුලි බිලට සහනයක් දෙන බව ආණ්ඩුව කීවත් තවම කිසිම විසඳුමක් ඒ සඳහා දී නැති බවත්, ලංකා විදුලිබල මණ්ඩලය අධික ලාභ ලබද්දී එහි සහනය ජනතාවට ලබාදෙන්න ආණ්ඩුව අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් රජය ලක්‍ෂ 2000ක් වියදම් කර තිබෙන බවත්, නමුත් ලක්‍ෂ 2000ක් වියදම් කර සමරන්න තරම් නිදහසක් රට තුළ නැති බව ඔහු කීය.

ජනතාවට ආර්ථික නිදහසක්, ජීවත්වීමේ නිදහසක්, භාෂණයේ නිදහසක් නොමැති තත්ත්වයක් තුළ රටේ නිදහස් දිනයක් සමරන්න තරම් අවස්ථාවක් තිබෙනවාද කියන ප්‍රශ්නය මතුවන බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

සාම්ප්‍රදායිකව නිදහස් දින සැමරුමක දී රටේ නායකයා ජාතිය අමතා කතාවක් සිදුකරන බවත්, නමුත් අවාසනාවකට එවැනි දෙයක් 76 වැනි නිදහස් දින සැමරුමේදී දකින්න නොලැබුණු බවත් අත්තනායක මහතා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ පැවසීය.

රටේ ජනතාවගේ ආර්ථික නිදහස වළදාලා තිබෙන මොහොතක, භාෂණයේ නිදහස වළක්වා තිබෙන මොහොතක, විරෝධතා දැක්වීමේ නිදහස නැතිකර තිබෙන මොහොතක රට බංකොලොත්භාවයක තිබෙන මොහොතක ආණ්ඩුව සමරන්න උත්සාහ කළේ කුමන නිදහසක් ද?

රටේ ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකාව ඇතිකර ගත් එකඟතාවකට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීමක් පෙනෙන්නට නෑ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරලා තුන්වෙනි සහ හතරවෙනි වාරිකවලට ගමන් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය එක තැනක නතරවෙලා තිබෙනවා. ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නෑ. යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තුන්වෙනි සහ හතරවැනි ණය වාරික පිළිබඳ ගැටලුවක් මතුවෙලා තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහ විනිමය අර්බුදයට ස්ථාවර විසඳුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ආණ්ඩුව ඒ වෙනුවට විකල්පයක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ රටේ ජාතික සම්පත් විකිණීම. ආයතන 7ක් 8ක් විකිණීමට දැනටමත් ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ සමගි බෞද්ධ කටයුතු පිළිබඳ සභාපති දේශ අභිමානී දේශ ශක්ති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා

රටේ භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය සහ වරදක් කළ පසු ඒ වරද වසාගැනීමට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ආණ්ඩුව යොදාගන්නවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ආණ්ඩුව යොදාගන්නේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන, සත්‍ය කතාකරන පිරිස් මර්දනය කිරීමට. මේ පනත මගින් ආණ්ඩුව සිදුකරන වැරදි වසාගෙන රජයට අවශ්‍ය දේවල් සිදුකර ගැනීමට තමයි මේ පනත ආණ්ඩුව යොදාගන්නේ.

මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳ පනතින් ලංකාවේ ජනතාවගේ නිදහස විනාශ කරලා තිබෙන්නේ. ඔන්ලයින් පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබියදී ඊට පටහැනිව ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. ආණ්ඩුව මේ පනත සම්මත කර ගත්තේ නීති විරෝධී ලෙස. මේ පනත වහාම පාර්ලිමේන්තුවෙන් ඉවත්කර ගත යුතුයි. ආණ්ඩුව ඔන්ලයින් පනත ගෙන ආවේ විපක්‍ෂය මර්දනය කරන්න. පනත්වලට මුවාවෙලා ආණ්ඩුව සිදුකරන්න යන්නේ ජනතා විරෝධී වැඩපිළිවෙළක්. ආණ්ඩුව සිදුකරන්න යන්නේ පනත් ගෙනල්ලා මැතිවරණය කෙසේ හෝ ජය ගන්න. ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා තවදුරටත් බලයේ ඉන්න. ජනමත විචාරණයක් ගෙනල්ලා විධායක ජනාධිපති ධුරය ඉවත් කරන බවට ද කතාබහක් රට තුළ ඇතිවෙලා තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment