දිව්‍යමය දරුවෝ

293

අධ්‍යාපනය නමැති සංකල්පයේ සෑබෑ තේරුම කුමක්ද? එහි තේරුම අකුරු ඉගෙන ගැනීම ද? නොඑසේ නම් විද්‍යාත්මක පර්යේෂණ කිරීම ද? අපට හැඟෙන හැටියට මුළු ජීවිතයම අධ්‍යාපනය වේ. එසේම අධ්‍යාපනය යනු මුළු ජීවිතයම වේ. ජීවිතය නමැති විශාල පොතේ සෑම පිටුවකම කුමක් හෝ පාඩමක් ඇත. මේ පාඩම හරියට කියවා අවබෝධ කරගත් විට ඒ පිටුව අග ඇති ප්‍රශ්නවලට උත්තර සැපයීමට පුළුවන. ජීවිතය යනු ප්‍රශ්න ගොඩකි. ජීවිතය නමැති පොතේ ඒ ප්‍රශ්නවලට උත්තර ගොඩක් ද ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. මේ ප්‍රතිඵලවල හැටියට විභාගයට මුහුණ දුන් පිරිසෙන් 80%කට කිට්ටු ගණනක් සමත්ව සිටිති. ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ විශාල පිරිසට විශ්වවිද්‍යාලවල ඉඩකඩ තිබේ ද යන්නයි. විභාගයට ඉදිරිපත් වුණු 80%ක් සමත් වූයේ නම් ඉතිරි 20% අසමත් ද? ස්ථිර වශයෙන් ම නැත. ඔවුනට ජීවිතය නමැති ශාස්ත්‍රාලයේ මෙතෙක් දුර ආ ගමනත් ඉදිරියට යෑමට ඇති දුර ගමනත් සලකා බලා කිසියම් ගමනක් තෝරාගත හැකිය. විභාග ප්‍රතිඵල අනුව හැමදෙනාටම කුමක් හෝ ප්‍රතිඵලයක් තිබේ. සියලුම විෂයයන් අසමත් අයට පවා විභාග ප්‍රතිඵලයක් තිබේ. ඒ විභාග ප්‍රතිඵලය වූ කලී පාසල් නීතිය තුළ තමන් ලැබගත් සමාජ දැනුම ය. හැම දරුවෙක් ම දිව්‍යමය දරුවෙකි. දිව්‍යමය දරුවෝ අසමත් නොවෙති. අඩු ප්‍රතිඵල ලැබූ දරුවන් මතුයම් දවසකදී ලංකාවේ බිලියනපතියන් බවට පත්වීමට ඉඩ තිබේ. නැතහොත් ඔවුන් අලුත් දේවල් සොයාගන්නා නවෝත්පාදකයන් වනවා ඇත. මේ නිසා විභාග ප්‍රතිඵල ගැන කවුරුත් එතරම් කලබල විය යුතු නැත. විභාග ප්‍රතිඵල අඩු වුණොත් වැඩිහිටියන් දරුවන්ට බැණ වදිමින් ඔවුනගේ හිතට කඳුළක් ම දෙන යුගයක් මේ රටේ තිබිණ. එකල එකී එම ප්‍රතිඵලය, විභාගය අසමත්භාවය සලකා දරුවන්ට හිංසා පීඩා කිරීම අනුවණ වැඩිහිටියන් විසින් සිදුකරන ලදී. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. වැඩිහිටියෝ සිය දරුවන් කෙරෙහි උපේක්ෂා සහගතවීමට උත්සාහ ගත යුත්තාහ. වැඩිහිටියන් නොඉවසන කල දරුවා ද නොඉවසයි. ඛේදවාචකය පටන් ගන්නේ එතැන් සිටය.

ලංකාවේ අධ්‍යාපනයට අවුරුදු 2300ක ඉතිහාසයක් තිබේ. ලෝක බෞද්ධ ශිෂ්ටාචාරයට අවුරුදු 2500ක ඉතිහාසයක් තිබේ. ශිෂ්ටාචාරය හැඩගස්වන ලද්දේ අධ්‍යාපනය විසිනි. මිනිස්සු නූගතුන්ව සිටි කාලයේ කිසිදු සාරධර්මයක් නොදත්හ. ඒ කාලයේදී තිරිසන් සතුන් සහ මනුෂ්‍යයා අතර වෙනසක් තිබුණේ ම නැත. මිනිස්සු තිරිසන් සතුන් මරාගෙන කෑවාහ. තිරිසන් සත්තු මිනිසුන් මරාගෙන කෑවාහ. එහෙත් ලෝකය අධ්‍යාපනයේ ආලෝකයෙන් ශිෂ්ටත්වයට පත්වන කල මිනිස්සු ඉතා හොඳින් හිතන්නට පුරුදු වී යහපත් සමාජයකට අවශ්‍ය කරන ද්වාරය විවෘත කර ගත්හ. ඉන්දියාවේ අධ්‍යාපනය ලංකාවේ අධ්‍යාපනයට වඩා බෙහෙවින් පරණය. බුද්ධ කාලයට පෙරත් ඉන්දියාවේ අක්ෂර භාවිතා විය. ඊට පෙර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ අක්ෂර තිබිණ. ඊට පෙර එනම් අවුරුදු 5000කට පමණ ඉහත ඊජිප්තුවේ රූපාක්ෂර තිබිණ. මීට අවුරුදු 6000කට පමණ පෙර ආකේඩියානු උපශිෂ්ටාචාරය පැවැති කාලයේදී සාහිත්‍ය කෘති පවා ලියන ලදී. ලෝකයේ පළමු වැනි නවකතාව වන ගිල්ගමේෂ් වීර කාව්‍යය ලියන ලද්දේ ආකේඩියානු භාෂාවෙනි. ගිල්ගමේෂ් නමැති රජතුමා දීර්ඝ සංචාරයක යෙදෙයි. මේ සංචාරයේදී ඔහුට යෝධ තිරිසන් සතුන් ද යකුන් ද පෙරේතයන් ද හමුවෙයි.

ගිල්ගමේෂ් මේ සියලුදෙනා පරාජය කර ජයග්‍රහණය කරයි. මීට අවුරුදු 6000කට පමණ පෙර ලෝකයේ තිබුණු ප්‍රධාන සංකල්ප දෙක වූයේ ජය හා පරාජය ය. ඒ නිසා ලේඛකයන් ලියූවේ ම ජයග්‍රහණය ගැනය. ජයග්‍රහණය යනු පරාජයේ අනෙක් පැත්තය. මේ නිසා ජය ගැන ලිවීමේදී පරාජය ගැන ද ලිවිය යුතුව තිබිණ. ග්‍රීසියේ විසූ හෝමර් නමැති පඬිවරයා ලියූ සියලු වීර කාව්‍ය ජය හා පරාජය යන දෙක තුළ දෝලනය විය. අන්තිමේදී වීරයා ජයගත්තේය. දුෂ්ටයා පරාජය විය.

මේ සංකල්ප නූතන සමාජය සමග ගැළපෙන්නේ නැත. වීරයා දිනුවොත් දුෂ්ටයා පැරදිය යුතුම ය. එය අරුමයක් නොවෙයි. හැබැයි මෙවර ඒලෙවල් විභාගයට ඉදිරිපත් වූ සියලු ම ළමයි වීරයෝ වෙති. යමකට ඉදිරිපත් වීම ම වීර ක්‍රියාවකි. මේ දුෂ්ට පාරිභෝගික සමාජය තුළ තරග විභාගයකට ඉදිරිපත් වීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි වීරකමකි. විභාග කඩඉමට බාධා පැමිනුණ ද ලෝකය ජයගත්තවුන් අනන්තවත් සිටිති. ඒ නිසා මෙවර විභාගයට සහභාගි වූ දිව්‍යමය දරුවන් සියලුම දෙනා ජයග්‍රහණය කර ඇත. ඔවුන් ස්ථිර වශයෙන්ම ඉදිරියේදී ජීවිතය දිනන බව ද අපට විශ්වාසය.


advertistmentadvertistment