අටමස්ථානාධිපති හිමියන්ගේ අලුත් සංස්කෘතික ගමන් මග

1483

බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ දේශපාලනය අතර සම්බන්ධතාවක් තිබිය යුතුද? ශ්‍රී ලංකා ඉතිහාසය දෙස බලන විට රජු සහ භික්ෂුව අතර සම්බන්ධයක් තිබූ බව පෙනේ. භික්ෂුව කළේ රජුට අවවාද අනුශාසනා කරමින් රාජ්‍ය පාලනය යහමගට ගෙන ඒමය. ඒ හැරෙන්නට රජ්ජුරුවන්ගෙන් අස්ස කරත්ත පර්මිට් (දැන් තිබෙන කාර් පර්මිට් වෙනුවට) හෝ වැව් බැඳීම සඳහා ටෙන්ඩර් ඉල්ලීම උන්වහන්සේ කළේ නැත. එසේම විවිධ යුනියන්වලට නායකත්වය සැපයීමද උන්වහන්සේ විසින් නොකරන ලදී. එබැවින් බෞද්ධ භික්ෂුව හැමවිටම සිටියේ රජුට ඉහළිනි. එහෙත් පසුකාලයේදී ශිෂ්ටාචාරය විසින් මේ රට කොතරම් දියුණු කරන ලද්දේ ද යත් රජා ඉහළටම ගොස් භික්ෂුව පහළටම ඇද වැටින. අගමැති බණ්ඩාරනායකට වෙඩි තබා මරණ ලද්දේ තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරියකු විසිනි. ඒ කතාව කෙටියෙන් මෙසේ කියමු. අගමැති බණ්ඩාරනායකට රහසේ බලගතු ඇමැතිවරියක් වූ විමලා විජේවර්ධන සහ මාපිටිගම බුද්ධ රක්ඛිත නමැති භික්ෂුව නැව් සමාගමක් පටන් ගත්හ. ඒ සම්බන්ධයෙන් අගමැති බණ්ඩාරනායකගේ නොපහන් බවක් තිබිණ. ඒ නිසා අගමැතිවරයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් තල්දූවේ සෝමාරාමට පවරන ලදී. අගමැති ඝාතනයෙන් පසු මේ රටේ භික්ෂුන් වහන්සේට ඉතාම කරදරකාරී කාලයකට මුහුණදීමට සිදුවිය. පන්සල්වලට දානය සැපයීම පවා මිනිස්සු ප්‍රතික්ෂේප කළහ. තල්දූවේ සෝමාරාම හෝ මාපිටිගම බුද්ධ රක්ඛිත යනු මේ රටේ සමස්ත සංඝ සමාජය නිරූපණය කරන පොදු සාම්පලයක් නොවේ. සුපේෂල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ දහස් ගණනින් මේ රටේ සංඝ සමාජය තුළ වැඩ වාසය කරති. එහෙත් එක භික්ෂුවක් විනය පිටකය කඩකළ සැණින් සමස්ත ජනසමාජය සියලුම භික්ෂුන් වහන්සේ එකම ගොඩකට දමති. මේ නිසා භික්ෂු සමාජය දේශපාලනඥයන්ගෙන් සහ මුදලාලිලාගෙන් බැහැරව නිවන් මග පමණක් සාක්ෂාත් කරගත යුතු තැනට පත්විය යුතුව තිබේ. මේ තිබෙන භික්ෂු සමාජය වූකලී තමන් රහතන් වහන්සේ යැයි කියාගන්නා ඇතැම් චීවරධාරීන් සිටින තැනකි. මෙයට අවුරුදු පහළොවකට පමණ පෙර භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වූහ. ඒ ප්‍රයත්නය පසුකාලයේදී කොතරම් ජරාජීර්ණ වූයේද යත් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි මැර මන්ත්‍රීවරයකු විසින් මන්ත්‍රී භික්ෂුවකගේ යටි කය කරකවා මහත් පීඩාවක් ඇති කළහ. ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය හෑල්ලු වීම හරියාකාරවම පටන් ගන්නේ භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසීමත් සමගය. ඇතැම් භික්‍ෂුන් වහන්සේ ප්‍රාදේශීය සභා සහ පළාත් සභා වලටත් නාම යෝජනා භාරදීමට පටන් ගත්හ. මේ රටේ පිළිගත් භික්ෂුන් වහන්සේ කෙනකු සහ පොහොට්ටු පක්ෂයේ නගරසභා මන්ත්‍රීවරියක අතර සිදුවූ වාහන ජාවාරමක් පිළිබඳ පසුගිය දිනවල අපට අසන්නට ලැබිණ. මේ සියලු කරුණු සලකා බලන කල අනුරාධපුරයේ අටමස්ථානාධිපති ධුරයට පත් පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් වහන්සේ නව ධුරයෙහි වැඩ භාරගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත අපගේ වන්දනයටත් ගෞරවයටත් පාත්‍ර වේ.

අටමස්ථානයේ අධිපති භික්ෂුන්වහන්සේ වූ පල්ලේගම සිරිනිවාස හිමියෝ පසුගියදා අපවත් වූහ. උන්වහන්සේගේ අවමංගල පූජෝත්සවය ආණ්ඩුවේ වියදමින් සිදුකිරීමට තැත් කෙරුණු අවස්ථාවේදී එයට එරෙහි වූ පල්ලේගම හේමරතන නා හිමියෝ ආණ්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රට ආර්ථික අගාධයකට පත්ව ඇති මේ මොහොතේදී භික්ෂුන් වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවය සඳහා ආණ්ඩුවෙන් මුදල් ගැනීම පාපයක් බව කියමින් දායක සභාවේ අනුග්‍රහය සහිතව එම පූජෝත්සවය නිමාවට පත්කළහ. ඊළඟට උදාවූයේ පල්ලේගම හේමරතන හිමියන් නව අටමස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමය. මේ සඳහා පැවති උත්සවයට කිසිදු දේශපාලනඥයකුට ආරාධනා කෙරුණේ නැත. එය සිදුවුණේ දායක සභාවේත්, බෞද්ධ බැතිමතුන්ගේත්, භික්ෂුන් වහන්සේගේත් සහභාගිත්වයෙනි. එම උත්සවය සඳහා දේශපාලනඥයන් ගාවා නොගැනීමෙන් හේමරතන හාමුදුරුවෝ ඉමහත් බුද්ධිමත් ක්‍රියාවක් සිදුකළහ. මේ රටේ දේශපාලනඥයන්ගෙන් බහුතරය යන යන තැන වැඩ අලකර ගනිති. දේශපාලනඥයන් මෙවැනි උත්සව සභාවකට පැමිණි විට ඔවුන් වෙනුවෙන් මූලාසන ලබාදීමට භික්ෂුන් වහන්සේට සිදුවෙයි. එවිට භික්ෂුව වැඩසිටිය යුත්තේ රජුට ඉහළින්ය යන පුරාණ සංස්කෘතික ස්ථාවරය බිඳී යයි. බුද්ධ ශාසනය භික්ෂුන් වහන්සේ අත තිබිය යුතු අතර දේශපාලනය දේශපාලනඥයන් අත තිබිය යුතු බව අප විශ්වාස කරමු. මේ දෙක එකට ඇනුණු විට හටගන්නා අවුල ලිහා ගැනීම ලේසි නැත. පල්ලේගම හේමරතන හාමුදුරුවන් විසින් නව සංස්කෘතික ප්‍රවනතාවක් අරඹනු ලැබ තිබේ. අපි එයට උදව් කරමු.

මේ රටේ පූජනීය ස්ථාන වලින් වැඩිහරියක් දේශපාලනඥයන් විසින් කිලිටි කරනු ලැබ ඇත. ප්‍රධාන දේවාලවලට නිලමෙලා පත්කිරීම දේශපාලන පවුල් විසින් භාරගෙන තිබේ. එහෙමත් නැත්නම් ඇතැම් ප්‍රධාන දේවාලවල සිටින නිලමෙලා දෙවියන්ට පුද පූජා කරනු වෙනුවට එම දේවාලයට යන එන දේශපාලනඥයන්ට පුද පූජා පවත්වති. ඇත්තම කතාව නම් මේ රටේ බෞද්ධ ආගමික සංස්කෘතිය සඳහා සංඝායනාවක් අවශ්‍ය බවය. රහතන්වහන්සේ බව පවසමින් විකාර නටන චීවරධාරීන් විශාල කරදරයක් බවට පත්ව තිබේ. උන්වහන්සේගේ දානමානාදිය මඟුල් ගෙවල් හා සමානය. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ විසින් දෙසා වදාරන ලද ධර්මය තුළ මෙවැනි පුහු දේවල් නැත. උන්වහන්සේ විසින් එම දහම දෙසා වදාරන ලද්දේ මෙලොව වැඩ සඳහා නොව පරලොව වැඩ පිණිසය. එහෙත් අපේ ඇතැම් චීවරධාරීන් නිවන් මග අතැර දමා මෙලොව වැඩ පිණිසම කැප වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment