දීමනා වැඩි කරන්නැයි ඉල්ලා බන්ධනාගාර නිලධාරීහු ඊයේ ලෙඩ වෙති

41

රැඳවියන් උසාවි ගෙනයෑමත් නවතී

සිය දීමනා වැඩි කරන ලෙස ඉල්ලා බන්ධනාගාර නිලධාරීන් ඊයේ (20දා) අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා රැඳවියන් අධිකරණය වෙත රැගෙන යෑමට බාධා එල්ලවී තිබූ බවට වාර්තා විය.

නිවාඩු වාර්තා කිරීම සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සමග බන්ධනාගාර බලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව සම්පූර්ණ සමාලෝචනයක් සිදුකර පොලිස් නිලධාරීන්ට සමගාමීව දීමනා වැඩිකිරීමට එකඟතාව පළකර, එතෙක් වහාම රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එම කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට පියවර ගතයුතු බව ද හෙතෙම දැනුම් දී තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමට නීත්‍යනුකූලව අවස්ථාවක් නොමැති අතර, ඔවුන් අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල සමූහයක් හරහා නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට පෙලඹී ඇති බව නිරීක්ෂණය වන බවත්, සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සේවයට වාර්තා කරන ලෙසත් දන්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද ඒ මහතා පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment