දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළව කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තුව විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශනයට සහාය වීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට එම ත්‍රිපුද්ගල කමිටුව විසින් දැනුම් දී තිබේ.
මෙම පාර්ලිමේන්තු කමිටුව ඊයේ (25) පාර්ලිමේන්තුවේදී දෙවැනිවරටත් රැස්වූ අතර ඒ අවස්ථාවේදී මේ බව ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව එම පාර්ලිමේන්තු කමිටුවට සහාය වීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රාජිත පෙරේරා යන මහත්වරුන් නම් කර ඇත.
ඊයේ දින රැස්වූ පාර්ලිමේන්තු කමිටුව ඉදිරි කටයුතු මෙහෙයවීම සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීය. ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා කමිටුව ලබන 28 වැනිදා නැවත රැස්වීමට තීරණය කර තිබේ.
අකිත පෙරේරා