දොලේව මහණ කරවන්න ජනපතිගෙන් යෝජනාවක්

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපතිවරණයට මුහුණ දීමට සූදානම්ය. පසුගිය ඉරිදා ඔහු ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සූදානම් කිරීමට කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගි වන්නට සිරිකොතට ගියේය.

ඔහු එදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ඉහත කී විශේෂ ප්‍රස්තුතය ගැන සාකච්ඡා කළේ පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර දේශපාලන කරළියේ ලොකු දේශපාලන බෝම්බයක් පත්තු කර තිබූ පසුබිමක ය.

ඒ අනුව ඉදිරි මැතිවරණයකදී අදාළ වන තනතුරු කීපයක් පත් කරන්නට රනිල්ට සිදුවිය. හේ තවත් විශේෂ වැඩක් කළේය. ඒ මෙතෙක් දිනක් අත්හිටුවා තිබූ රංජිත් මද්දුම බණ්ඩාරගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය නැවත ලබාදීමට කටයුතු කිරීමයි.

“අපි විනය ක්‍රියාමාර්ගයක් අරගෙනනේ එයාගේ සාමාජිකත්වය අත්හිටෙව්වේ. එතුමා නීතිය ඉදිරියට ගිහිල්ලා ඒකට විරුද්ධව කරුණු දක්වලා කියලා තියෙනවා එයා තාමත් අපේ සාමාජිකයෙක් කියලා. එහෙම නම් අපිට ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ…” කියමින් රනිල් මේ සඳහා කළ යෝජනාව ගැන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විමතිය පළවිය. එහෙත් ඒ සඳහා ඒකමතික අනුමැතියක් ලැබිණි.

ඉන් නොනැවතී ජාතික මැතිවරණ සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දුව පත් කළ අතර ජාතික මැතිවරණ නියෝජ්‍ය ලේකම් ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කරනු ලැබීය. ජාතික ලේකම්කමට රවී කරුණානායක පත් කළේය.

භාණ්ඩාගාරික ධුරයට පිරෝෂ් ෂාබ්දීන්ගේ නම යෝජනා විය. මේ ආදී වශයෙන් තවත් තනතුරු ගණනාවක්ම පත් කරන්නට පියවර ගත්තේය.

මේ වන විට රට පුරා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගංවතුර, නාය යෑම් ඇතුළු ස්වාභාවික ව්‍යසන රැසක් රට වටින් වාර්තා වෙමින් තිබිණ. ජනාධිපතිවරයා තම කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකටත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නටත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ටත් කතා කොට ක්ෂණිකව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධ කර ගනිමින් විපතට පත් වූවන් වෙත සහන සැලසීමේ කටයුතු විධිමත් කරන්නට දැනුම් දුන්නේය.

ආපදා සහන සාකච්ඡාවට අනාරාධිතව ආ අමුත්තා

සඳුදා වන විට කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රදේශයේ සිටම කඩුවෙල දෙසට එක දිගට කැලණි ගංදෑල ජලයෙන් යටවී තිබිණ. කළු ගංදෑල හා ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා සීතාවක ප්‍රදේශයට බලවත් විපත් සිදුව තිබිණ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අදාළ මැති ඇමැතිවරු පිරිසක් සමග මේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වන්නේ මේ අතරයි. කොළොන්නාව, කඩුවෙල ප්‍රදේශයේ සහන කටයුතු සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳුදා දහවල් කොළොන්නාව නගර ශාලාවේ පැවැත්විණි.

මේ සාකච්ඡාවට රජයේ නිලධාරීන්ට, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බලධාරීන්ට හා හමුදාවේ හා පොලිසියේ වගකීම් භාර නිලධාරීන්ට මෙන්ම ආණ්ඩුවේ දේශපාලනඥයන්ට සහභාගී වන මෙන් දන්වා තිබිණි. සාගල එහි ගියේ මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් ද සමගයි. සරත් වීරසේකර මන්ත්‍රීවරයා ද එතනය. ජනාධිපතිවරයාගේ විශේෂ නම් කිරීම පරිදි ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයාත් මේ සාකච්ඡාවට එක්ව සිටියේය.

සාකච්ඡාව අතරමැදදී අනාරාධිතව අමුත්තකු පැමිණියේය. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්ය.

“මේක කාටත් පොදු ආපදා සහිත වෙලාවක්. ජනතාවට සහන සලසන කොට ආණ්ඩු පක්ෂය විපක්ෂය වාද භේද තියාගෙන බෑ. ඒකයි අපිත් ආවේ…” මරික්කාර් ප්‍රශ්නයක් ඇතිවේ යැයි එසේ කියාගෙන ආවත් කවරෙක්වත් ඔහුට ප්‍රශ්න ඇති කරන්නට ගියේ නැත. සාකච්ඡාව කැඳවා තිබූ සාගල රත්නායක කොහොමටත් සාමකාමී පුද්ගලයෙකි.

එහෙත් එහි අවසානයේ සිදු වූ මාධ්‍ය සාකච්ඡාවේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් සම්බන්ධ වූ මැති ඇමැතිවරුන්ට වඩා වැඩි ඉඩක් ලබාගෙන කතා කිරීමට මරික්කාර් මන්ත්‍රීවරයා සමත් විය. ප්‍රේමනාත් සී. දොලවත්ත කතා කරන වේලාවේදී ද ඔහු පැන අදහස් ප්‍රකාශ කිරීමට මැදිහත් විය.

අදහස් දැක්වීම පසෙක තැබූ ආණ්ඩුවේ දේශපාලනඥයෝ ගංවතුරින් සිදුව ඇති විපත් නිරීක්ෂණය කිරීමට කොළොන්නාව, ටෙරන්ස් විද්‍යාලය, කළු පාලම, කඩුවෙල ප්‍රදේශයේ සංචාරයක ද නිරත වූහ. මෙහිදී සාගල හා දොලවත්ත ගියේ එකටය. කඩුවෙලදී ද සහන සැලසීම ගැන සාකච්ඡාවක් පැවැත්විණි.

ජනපති සේදවත්ත විහාරයේ

එම නිරීක්ෂණ චාරිකාවට අතරමැදදී සම්බන්ධ වෙන්නට ජනාධිපතිවරයා ද පැමිණියේය. ජනාධිපතිවරයාත් සාගලත් දොලවත්තත් වාහනයේ එකට යද්දී පන්සල්වලට හා ඒ ඒ ස්ථානවලට කතා කරමින් ඊළඟට යා යුතු තැන් සම්බන්ධීකරණය කළේ දොලවත්ත මන්ත්‍රීවරයාය. ඔහු සේදවත්ත විහාරයේ ලොකු හාමුදුරුවන් වහන්සේ අමතමින් ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධීකරණය කරද්දී ඒ පිළිබඳ හොඳින් කන්දී අවධානයෙන් සිටියේය. රනිල් එහි යද්දි ගංවතුරට හසු වූ ජනතාව විශාල ප්‍රමාණයක් විහාරස්ථානයට ආරක්ෂාව පතා පැමිණ සිටියහ. ලොකු හාමුදුරුවෝ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගන්නට ඉදිරියට වැඩියහ.

“ඔබවහන්සේට තියෙන්නේ අපේ දොලවත්ත මන්ත්‍රීතුමාව පන්සලේ මහණ කරගන්න. එතුමා මේ ඔක්කොම සහන කටයුතු බලාගනීවි…” ජනාධිපති විහිළුවක් කරද්දී සියල්ලෝම ඒ කතාවට සිනාවෙන්නට වූහ.

“එහෙම නම් කොච්චර දෙයක්ද ජනාධිපතිතුමා. ඒ මොකද මෙතුමගෙත් තාත්තලා පරම්පරාවෙන්ම මේ විහාරස්ථාන එක්ක සම්බන්ධ වෙලා හොඳට වැඩ කරපු උදවිය… මේ වෙලාවේ කතා කර කර අඩුපාඩු හොයා බලනවා…” ලොකු හාමුදුරුවෝ කීහ.

ඉන්පසුව ජනාධිපති රනිල්, සාගල හා දොලවත්ත ඇතුළු කණ්ඩායම සමග ගංවතුරට යට වූ ප්‍රදේශ නරඹන්නට ගියේය. පාරදිගේ බෝට්ටුවකින් යෑම වඩාත් සුදුසු බව ඇතැම් අය යෝජනා කළත් ජනාධිපතිවරයාගේ අදහස වූයේ බෝට්ටු කීපයකින් යන විට විහිදෙන මහා ජල ප්‍රවාහය යළිත් ගෙවල් ඇතුළට වදින නිසා හැකි තාක් දුරට වාහනවලින් යාමම උචිත බවය.

විහාරස්ථානයේදී නිලධාරීන් සමග ඇතිවූ සාකච්ඡාවේදී ජනාධිපති කීවේ මේ ගංවතුර ප්‍රශ්නය මෑත කාලයේදී උග්‍ර වන්නට පටන් ගෙන ඇති නිසා වහාම විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බවයි.

අනවසර ඉදිකිරීම් හා පහත් බිම් ගොඩකිරීම් නතර කිරීමට අදාළව නීති රීති දැඩි කිරීමටත් දැඩි තීන්දු ගැනීමටත් සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අනවසර ඉදිකිරීම් නිසා නිදහසේ ජලය ගලා යෑමට ඇති ජලාපවහන මාර්ග අවහිරවීමෙන් මෙවන් විපත් සිදුවන බව සියල්ලන්ගේම පිළිගැනීම වූහ. ගංවතුරින් විපතට පත් ජනතාව මුණගැසෙන්නට ජනාධිපතිවරයා ඒ ඒ තැන්වලට යෑම මෙහිදී සිදු වූ විශේෂ කාරණාවක් විය.

මහනුවර ගමේ ප්‍රශ්නයක් ජනපති හමුවට ආ හැටි

එදින හවස විශේෂ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් හා විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපතිවරයා විසින් කැඳවා තිබිණ. මේ වෙලාවේ ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දුන් දිනිත් චින්තක කරුණාරත්න අද ටිරාන් අලස් ඇමැතිවරයාගේ උපන්දිනය බව මතක් කර දුන්නේය.

ඒ අනුව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට පෙර ටිරාන් අලස්ට සුබ පතමින් උපන්දින කේක් ගෙඩියක් කපන්නට ජනාධිපති කටයුතු සංවිධානය කර තිබුණ බව ටිරාන් අලස් හෝ සෙසු මන්ත්‍රීවරු දැන සිටියේ නැත.

ඒ අවස්ථාවේදී සමහර ඇමැතිවරු හා මන්ත්‍රීවරු ටිරාන්ට සුභ පැතුවේ උපන්දිනයට පමණක් නොවේ. ඊට පෙර දිනක ජීවන් තොණ්ඩමාන් මට්ටු කරන්නට අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ගැන ද ඔවුහු ඔහුට සුබපැතූහ.

කේක් කපා ඉවර වී කණ්ඩායම් රැස්වීමේ වැඩ කටයුතු පටන් ගන්න විට පළමුව කතා කළේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය ගැනයි. එහිදී මුලින්ම මධුර විතානගේ හා පවිත්‍රා වන්නිආරච්චි අතර ප්‍රශ්නයකි.

“පීඩාවට පත් මිනිස්සුට දෙන්නේ රුපියල් 450යි. මේක මදි” මහින්දානන්ද හඬ අවදි කළේය. අනෙකුත් මන්ත්‍රීවරුන් ද එය අනුමත කරමින් කතා කළහ.

“අපි ඒක වැඩි කරන්න කටයුතු කරන්නම්” ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

“ගෙවල්වලට ගස් කඩාගෙන වැටෙනව. ඒව අයින් කරගන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩ දෙන්නේ නෑ” මන්ත්‍රී මධුර කීය.

“ගස් කඩාගෙන වැටුණම අපිට දැනුම් දුන්නොත් පැය හතරක් ඇතුළත අයින් කරනවා.” ඒ ඇමැතිනී පවිත්‍රාය.

“එතකොට මිනිස්සු මැරිලා ඉඳීවි. එහෙම කරන්න එපා.” මධුර යළි කීවේ කේන්තියෙනි.

“ඔය පනත්, චක්‍රලේඛ මේ ආපදා වෙලාවේ බලන්න එපා. ග්‍රාමසේවකතුමාට වැඩ කරන්න බලය දෙන්න” මහින්දානන්ද ද කතාවට මැදිවිය.

“මට නීති වෙනස් කරන්න බෑ” ඇමැතිවරිය යළි කීවාය.

“ගස් වැටුණම මිනිස්සු අයින් කර ගන්නවා. ඒව ගැන හිතන්න එපා. මිනිස්සු බේර ගන්න විදිහක් බලන්න.” මේ කතාවට ජනාධිපතිවරයා ද මැදිහත් විය.

මහින්දානන්දගේ සපෝර්ට් එක ලැබුණේ මධුරට ය. මහනුවර, නුවරඑළිය පළාත්වල ගස් ඇද වැටීම් නිසා වෙච්ච හානි ගැන ඔහුත් විස්තර කිව්වේය. ඒ කතාව රණුඩුවක් දක්වා ගියේ නැත. එහෙත් මහින්දානන්දත් සමග එකම දිස්ත්‍රික්කයේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීගේ තිබුණු පරණ කෝන්තරයකුත් මේ වෙලාවේ අලුත් වී එළියට ආවේය.

ගුණතිලක රාජපක්ෂ මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වී සිටියේය. පසුව ජනාධිපති මහින්දානන්දව ඒ තනතුරට නම් කළේය. මහින්දානන්ද වැඩ පටන් ගන්න විට ඉබේම වගේ ගුණතිලක රාජපක්ෂගෙන් විරෝධතා මතු විය.

ගුණතිලක රාජපක්ෂ යටිනුවර ආසනයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට අදාළ මුදල් තමන්ට හිතවත් මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් හරහා වියදම් කරන්න ගෙන තිබූ තීන්දුව මහින්දානන්ද වෙනස් කළේය. මන්ත්‍රීවරු 14 දෙනාටම ලක්ෂ හතළිහ ගාණේ සංවර්ධනය සඳහා වෙන් කරන්නට ඔහු ආණ්ඩුකාරයාට දැනුම් දුන්නේය.

ගුණතිලක රාජපක්ෂ එදා කණ්ඩායම් රැස්වීමේදීත් ඔය ප්‍රශ්නය ඇද මහින්දානන්දට බැණ වැදුනේ නිලධාරීන් ඉදිරිපිටය.

එහි වාඩුව අල්ලන්න රැස්වීම ඉවර වෙච්ච සැනින් මහින්දානන්ද එළියට ගොස් තරප්පුව ළඟ බලා සිටියේ ගුණතිලක රාජපක්ෂ එළියට එනතුරුය.

“තමුසේ මොකද්ද අර අතන කියපු බලු කතාව පුළුවන් නම් දැන් කියනවා…” මහින්දානන්ද පටන් ගන්න කොට ගුණතිලකත් ඇරියෙම නැත… ඔහුත් මහින්දානන්දට දෙවැනි නොවීය.

මහින්දානන්ද ගුණතිලකගේ බෙල්ලෙන් අල්ලගන්න පනිනවිට එතන සිටි යදාමනී ගුණවර්ධන ගුණතිලකව පස්සට ඇද්දේය. අන්තිමේ දෙදෙනාටම වාරු නැති විය. එක්කෙනා උඩ එක්කෙනා ඇද වැටී කලබලයක් ඇති විය.

“මම බයිපාස් කරපු මිනිහෙක්…” රාජපක්ෂ මන්ත්‍රීවරයා කෑ ගැසීය. මන්ත්‍රීවරයාගේ කෑ ගැසීම ඇසුණු මන්ත්‍රීවරුන් එම ස්ථානයට දුවවිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා උස්සන්ට උත්සාහ ගත්හ.

“මගේ කකුල අමාරුයි” මන්ත්‍රීවරයා යළි කෑ ගැසීය. ඒ අනුව මන්ත්‍රීවරුන්, රාජපක්ෂ මන්ත්‍රීවරයා පරිස්සමෙන් වත්තන් කර පුටුවක වාඩි කරවීය. අනතුරුව ජනාධිපති ආරක්ෂක අංශය ජනාධිපතිවරයාගේ ගිලන් රථය සෙවූ නමුත් එය ඒ වනවිට පිටත්ව ගොස් තිබුණි. එබැවින් රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝද පුටුවක වාඩි කරවා පාර්ලිමේන්තුවේ වෛද්‍ය අංශයට ගෙන ගොස් මූලික ප්‍රතිකාර කර ගිලන් රථයක් මගින් යුද හමුදා රෝහලට ගෙන ගියේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය.

අවසානයේ ඒ ප්‍රශ්නය කුරුඳුවත්ත පොලිසිය දක්වා ගොස් තිබුණේ ගුණතිලකගේ පුත්‍රයා පොලීසියේ කරන ලද පැමිණිල්ලකට අනුවයි. ගැටුම සමථයකට පත් කරන්නට ගිය මන්ත්‍රීවරුන්ට ද කුරුඳුවත්ත පොලිසියට සිද්ධිය ගැන කට උත්තර බඳින්නට යන්නට සිදු වූහ.

“කොහොම හරි ඉතින් අන්තිමේ අමාරු වුණේ ගුණතිලක මන්ත්‍රීතුමාට. වැටිච්ච වැටිල්ලට එක කකුලක් දනිස්සට උඩින් අස්ථි භග්නයකට ලක්වෙලා. චණ්ඩිකම් පෙන්නන්න ඇවිල්ල අන්තිමේ උන්දැ නතර වුණේ ඉස්පිරිතාලේ.” මන්ත්‍රීවරු කියන්නට වූහ.

පොලිස් ඇමැති, ජීවන්ගේ චණ්ඩිකමේ හුළං බස්සයි

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පහුගිය සතියේ කාගේත් අවධානය දිනා ගත්තේ නුවරඑළියේදී රඟපාන්න ගිය චණ්ඩි පාට් එකක් නිසාය.

ආණ්ඩුවෙන් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප 1700 කරපු වෙලාවේ වතු හාම්පුතුන් ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළේය. තොණ්ඩමන් ඒ වෙලාවේ හිටියේ වතු කම්කරුවන්ගේ පැත්තේය.

පහුගිය 30 වෙනිදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ ප්‍රශ්නය ගැන සාකච්ඡාවක් පැවැත්විණි. නිලධාරීන් දේශපාලනඥයන් වතු හාම්පුතුන් වෘත්තීය සමිති ජීවන් තොණ්ඩාමන් රැස්වීමේ සිටියහ.

කතාබහ උණුසුම් වෙද්දි “චදසබඑ චැාරදඅ” වත්තේ වතු අධිකාරීවරයාට පහරක් දෙකක් වැදුනා යයි කතා බහක් ගියේය. ජීවන්ගේ හැසිරීම පාලනය කරන්නට කිසිවෙක් නොවූහ.

වතු අධිකාරීවරයා මේ ගැන පැමිණිලි කරන්නට පොලිසියට ගියත් ඔහුගේ පැමිණිල්ල භාරගන්නට හැකියාවක් නොවූයේ ඇමැති ජීවන්ගෙන් පොලිසියටත් වූ බලපෑම් ප්‍රබල නිසාය.

“පොලිසිය කොහෙද එහෙම කරන්නේ. නීතිය කාටත් සාධාරණයි. වහාම පැමිණිල්ල භාරගෙන නීතිය ක්‍රියාවේ යොදවන්න” ඇමැති ටිරාන් පොලිසියට අණ කළේය.

නමුත් ජීවන් එතනින් නැවතුනේ නැත. මහ පාර අවහිර කරමින් තමන්ගේ වෘත්තීය සමිතිවල සෙනඟ දාලා වතු හාම්පුතුන්ට විරුද්ධව උද්ඝෝෂණයකුත් පටන් ගත්තේය. තත්ත්වය පාලනය කරන්නට පොලිසියටත් බැරි විය. ඉහළට සිද්ධිය ගැන දිගටම පැමිණිලි ආවේය. ජීවන් තොණ්ඩමාන් මේ විදියට පොලිසියටත් අවනත නැතුව නීතිය අතට ගෙන හැසිරෙන්නේ ඇමැති ආරක්ෂක සේවයේත් හයිය ඇතිව බව කියවිණි. තත්ත්වය පාලනය කරන්න විශේෂ කාර්ය බලකාය යවන්නට සිදුවිය.

31 වැනිදා ඇමැති ජීවන් නුවරඑළියට ආවේ මහා සෙනඟකුත් රැගෙන පොලිසිය වට කරන්නය. ඒ පොලිසිය තමන්ට අවනත නෑ කියාය. ඒ පොලිසිය තමන් පහර දුන් වතු අධිකාරිවරයාගේ පැමිණිල්ල භාරගත්තා කියාය. ඊට විරුද්ධව ජීවන් පොලිසිය ඉදිරිපිට මහපාරේ යකා නටන්න ගත්තේය.

“ඔය මනුස්සයව ඔතනින් අරගෙන යන්න. ඔතන කලබල කරන්න දෙන්න එපා. එහෙම වුණොත් ප්‍රශ්නය වෙන පැත්තකට යනවා…” පොලිසිය භාර බලවතෙක් ඇමැති ආරක්ෂක සේවයට එහෙම කිව්වත් එතැන තත්ත්වය වෙනස් නොවීය.

“අපි කියන දෙයක් අහන්නෑ සර්… මෙයාව අපට පාලනය කරන්න බෑ…” ඇමැති ආරක්ෂක සේවය කීය.

අනතුරුව බලධාරියා තීරණය කළේ ඇමැතිගේ ආරක්ෂාවට හිටපු ඇමැති ආරක්ෂක සේවයේ නිලධාරීන් ටික ආපහු කැඳවා ගන්නටය. ඔවුන්ගේ අවි තලවකැලේ පොලිසිය යටතට

ගන්නටය. ජීවන් තක්කු මුක්කු වූයේ එවිටය.

ඒ අස්සේ බිය වූ ජීවන් කෙළින්ම මහජන ආරක්ෂාව භාර ඇමැති ටිරාන්ට කතා කර වූ වැරැද්ද ගැන කනගාටුව ප්‍රකාශ කළා යයි ආරංචි විය. ඒ අනුව ඔහුට එස්. ටී. එෆ්. ආරක්ෂාව හිමිවිය.

අනුර සජිත් විවාදයට හයවෙනිදා මොකද වුණේ

පසුගිය සතියේ බොහෝ දෙනෙක් බලා සිටි තවත් වැදගත් කාරණාවක් වූයේ සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර විවාදයයි. එය හය වැනිදා කවර හෝ රූපවාහිනි නාලිකාවක වඩාත් උණුසුමින් මුළු රටේම ජනතාවට දැක බලා ගත හැකි ලෙස පවතිනු ඇතැයි රටම බලා සිටියා යයි කීවාට වරදක් නැත.

එහෙත් දේශපාලන පොරපිටියේ කියුම් කෙරුම් ගැන හොඳට දන්න දේශපාලන නිරීක්ෂකයෝ මේ නම් කිසි දිනක මහපොළොවේ පැවැත්වෙන විවාදයක් නොවේ යැයි දැන සිටියහ.

එහෙත් ආරම්භයේ පටන්ම මේ විවාදය ගැන උනන්දුවෙන් සිටි ස්වාධීන රූපවාහිනිය එක දෙයක් කළේය. ඒ වූ කලී කල් තියාම මේ විවාදය පවත්වන වගකීමක් තමන් වෙත පවරා ගනිමින් ඒ සඳහා වේදිකාවක් තනාදීමට ඉදිරිපත් වීමයි.

ස්වාධීන රූපවාහිනී සභාපති සුදර්ශනගේ අනුදැනුම පිට එහි වගකීම කරට ගත්තේ සුදර්මන් රදලියගොඩය. දෙපාර්ශ්වය අතර විවාදය හය වැනිදා රාත්‍රි දහයේ සිට මධ්‍යම රාත්‍රිය ඉක්ම යන තෙක් ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වන බවට ඔවුන් පූර්ව ප්‍රචාරක කටයුතුවල ද නිරත වූහ.

ඒ අනුව පසුගිය හතර වැනිදා ස්වාධීන රූපවාහිනී සභාපතිවරයාගේ අත්සනින් ජාතික ජන බලවේගයටත් සමගි ජන බලවේගයටත් මේ විවාදය සඳහා සහභාගි වන්නැයි ආරාධනා පත්‍ර දෙකක් යවන්නට කටයුතු කළේය.

ජාතික ජන බලවේගය ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන්නේය. තමන්ගේ නායකයා නිසි වේලාවට විවාදය සඳහා සූදානමින් ස්වාධීන රූපවාහිනිය වෙත පැමිණෙනු ඇතැයි දැන්වූ නලින්ද ජයතිස්ස ඒ සඳහා සමගි ජන බලවේගය නිසි අයුරින් සහභාගි වන්නේ දැයි විමසා සිටියහ. ඒත් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයෙන් කිසිදු පිළිතුරක් නොවීය.

මේ නිසා නැවත සිහිකැඳවීමක් සිදුවිය. විවාදයට පෙර දිනයේ එනම් පස්වැනිදා දෙවන ලිපිය යවනු ලැබීය. එදින හවස ඊට උත්තරයක් සමගි ජන බලවේගය පැත්තෙන් නලින් බණ්ඩාර ඒවා තිබිණ. එහි මෙම විවාදය සඳහා පසුබිම සැකසුනේ කෙසේදැයි කියා වග විස්තර සහිත කරුණු පැහැදිලි කිරීමක් මිස නායකයා හෝ ආර්ථික කණ්ඩායමේ සහභාගිත්වයක් ගැන කිසිදු කරුණක් නොවීය.

අදාළ දිනයේ එනම් හයවන බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පමණක් බත්තරමුල්ලේ ජයවඩනගම ස්වාධීන රූපවාහිනී මැදිරිය වෙත පැමිණ සිටියේය. ආරාධනා කළ පරිදි නිසි වේලාවට වැඩසටහන පටන් ගන්නට සුදර්මන් රදලියගොඩට සිදුවිය.

පැත්තක හිස් පුටුවකි. අනිත් පැත්තේ අනුර කුමාරය. තුලාව මැද සුදර්මන් වැඩසටහන ආරම්භ කළේය.

“මට තියෙන්නේ තෝරාගැනීම් දෙකයි. එක්කෝ මම මේ වැඩසටහනින් දැන් නැගිට යන්න ඕන. එහෙම නැත්නම් මම ජනතාවට කියන්න ආපු කරුණු ටික අපේ පැත්තෙන් කියන්න ඕන…”

“තීරණය තියෙන්නේ ඔබතුමා අතේ…”

ඒ අනුව අනුර එකඟ වූයේ දෙවැනි කාරණාවටය. ප්‍රතිපක්ෂය වෙනුවෙන් වෙන් කර තිබූ පුටුව ඉවත් කර විවාදයක් නොපවත්වා සංවාදයක් සුදර්මන් සමග කරන්නට ඔහු එකඟ විය. ඒ අනුව අනුර දිසානායක සමග වැඩසටහන ඉදිරියට ගෙන යනු ලැබීය.

අනුර මෙහිදී වැදගත් කරුණු කීපයක් මතු කළේය. එකක් වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගෙන යන වැඩසටහන තමන් ජනාධිපති වූවත් දිගටම ගෙන යන බවය.

දෙවනුව රාජ්‍ය සේවයේ සේවකයන්ගේ ප්‍රමාණය අඩු කරන්නට එකඟ වන බවය. තෙවනුව රාජ්‍ය දේපළ විකිණීමට නොව, පාඩු ලබන රාජ්‍ය ආයතන ඇත්නම් ඒවා ප්‍රතිව්‍යුහගත කර ගනිමින් ලාභ ලබන ආයතන රාජ්‍ය මැදිහත් වීමෙන් ආරක්ෂා කරගන්නා බවය.

වැඩසටහන ඉතා සාමකාමීව තර්ක හා කරුණු මත පමණක් පදනම්ව ඇදී ගියේය. ලද විවේක අවස්ථාවලදී අනුර වෙනදාට වඩා සුහදව නිවේදකයා හා කාර්ය මණ්ඩලය සමග ද කටයුතු කළේය.

ෂඔභ එක දැන් වෙනස් වෙලා. විකල්ප මතවලටත් හොඳ ඉඩක් ලබාදෙන මට්ටමට දියුණු වෙලා…” ඒ එක් අදහසකි. ඔහු තවත් අදහසක් එහිදී මතු කළේය.

“ජාතික ජන බලවේගය කියන්නේ ඉතා පුළුල් තැනක්. ඕනම අයෙකුට පැමිණෙන්න කටයුතු කරන්න පුළුවන් දේශපාලන වේදිකාවක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඒක ඇතුලෙ තියෙන පුංචි ශාඛාවක්. ජනතා විමුක්ති පෙරමුණ දිහා බලන කෝණයෙන් ජාතික ජන බලවේගය දිහා බලන්න එපා.”

“ඕනම කෙනෙකුට ජාතික ජන බලවේගය ඇතුළට එන්නට ඔය කියන විදිහට පුළුවන්ද…” සුදර්මන් ඇසුවේ විවේක අවස්ථාවකදීය.

“ඔව් එක්කෙනෙකුට විතරක් ඇරෙන්න… මොකද එයා ආවොත් අනිත් අය යනවා. අපිට එයාට වඩා මේක ඇතුලේ ඉන්න අනිත් අය වැදගත්…”

ඔහු ඒ නම කවුදැයි කීවේය. එහෙත් එය මේ සටහනේ හෙළි කිරීම සදාචාරාත්මක නැත. වර්තමානයේ අපේ දේශපාලන කතිකාවේ ඉහළින්ම වැජඹෙන දේශපාලන බලවේග දෙක අතර පැවැත්වෙනවා යැයි කී ප්‍රසිද්ධ විවාදය ඒ අයුරින් අවසන් විය.

ප්‍රසන්න රොෂාන් ජපානයේදී හමුවෙලා

ඇමැති ප්‍රසන්න මේ දිනවල ඉන්නේ ජපානයේ ය. ඇමැති ප්‍රසන්න ජපානයට ගියේ ජපානයේ සවාරාහි පිහිටි ලංකාජී විහාරයේ හතළිස් වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සහභාගි වීමටයි.

පසුගිය සිකුරාදා ජපානයට ගිය ඇමැතිවරයා ඉරිදා තිබූ ලංකා ජී විහාරයට වසර හතළිහක් පිරීමේ උත්සවයට සහභාගි විය. මේ වන විට පොහොට්ටුවෙන් ඉවත්ව සිටින රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ද ඇමැති ප්‍රසන්නට ජපානයේදී හමුවිය.

රොෂාන් ගොස් තිබුණේ ද මේ උත්සවයට සහභාගි වීම සඳහායි. ජපානේදී හමු වූ ප්‍රසන්න සහ රොෂාන් අතර රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරුණ ද ඒ මොනවාදැයි මෙතෙක් අනාවරණය වී නැත.

පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති රනිල්ගේ විශේෂ නියෝජිතයා ලෙස ජපානයට ගිය ඇමැති ප්‍රසන්න ජනාධිපතිවරයාගේ විශේෂ සුභපැතුම් පණිවිඩයක් ද එහිදී බානගල උපතිස්ස හිමියන්ට භාරදීමට අමතක කළේ නැත.

විපක්ෂයට සටන්පාඨ අඩු වෙයිද වැඩි වෙයිද

නව සන්ධානයට සහාය දෙන මැති ඇමැතිවරුන්ගේ හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ඇමැති නිමල් සිරිපාල මහතාගේ පාර්ලිමේන්තුවේ පිහිටි නිල කාමරයේදී සිදුවිය.

මේ අවස්ථාවට මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, දුමින්ද දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව සිටියහ.

නිමල් සිරිපාල ඇමැතිවරයා සහ නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙම හමුවට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය ආරම්භ කිරීමේ හමුවට සහභාගි වීමෙන් පසුව වීමද විශේෂත්වයකි.

“ජනාධිපතිතුමා මැතිවරණ කාර්යාලය පටන් ගත්තු නිසා දැන් ඉතින් විපක්ෂයේ කට්ටිය හොඳටම කලබල වෙයි” ජගත් පුෂ්පකුමාර කීවේ සිනාසෙමිනි.

“අපේ රැස්වීම ගැනත් කට්ටිය බලාගෙන ඉන්නෙ” අමරවීර කීවේය.

“කවුරුත් රැස්වීම් තියන්න බය කාලේ අපි ගම්පහින් මේ වැඩේ පටන් ගත්තේ. හුඟක් අය කිව්වා අපට සෙනඟ නැතිවෙයි කියල අපි සෙනඟ ගෙනල්ල පෙන්නුව” ලන්සා කීවේය.

“හම්බන්තොටත් විශේෂයි අමරෙ වැඩේ හොඳටම කරන නිසා කට්ටිය බය වෙලා ඉන්නෙ” නිමල් සිරිපාල අමරවීර දෙස බලමින් කීවේය.

“විපක්ෂයේ කට්ටියගේ සටන් පාඨ ටික එකින් එක නැතිවෙනවා. දැන් ලයිට් බිල් අඩු කළා, ගෑස් මිල අඩු කළා, බඩු මිලත් දැන් අඩුවීගෙන යනවා” නලින් ප්‍රනාන්දු කීවේය.

“ඔව් ඒකනෙ දැන් සජිත්ලට අනුරලට කරගන්න දෙයක් නෑ” දුමින්ද කීවේය.

සෙනසුරාදා හම්බන්තොට පැවැත්වෙන රැලිය සාර්ථක කරගැනීම සඳහා සියලු දෙනා කැප වන්නැයි මෙහිදී එකඟතාවයකට පැමිණීමද විශේෂත්වයකි.

සමගියෙන් ඉන්න නාමල්ගෙන් උපදෙසක්

අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර ගුටි බැට හුවමාරුවක් සිදුවී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල් ගත වූ සිද්ධිය ආරංචි වූ වහාම නාමල් රාජපක්ෂ පැමිණියේ නාරාහේන්පිට යුද හමුදා රෝහලටය. ඒ ගුණතිලක රාජපක්ෂ බැලීමටය.

නාමල් මේ වනවිට සිටියේ මලලසේකර මාවතේ නිවසේය. එදින ඔහු කණ්ඩායම් රැස්වීමට පැමිණියේ නැත. යුද හමුදා රෝහලට යන විට එතැන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම සහ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පැමිණ සිටියහ.

කොහොමද ආරංචි උනේ ජනාධිපති කාර්යාලයේදි වෙච්ච සිද්ධිය ජගත් සමරවික්‍රම නාමල්ගෙන් ඇසීය.

“අපිට ඉතින් ඕනෑම තැනක දේවල් ක්ෂණිකවම ආරංචි වෙනවා” නාමල් සිනාසෙමින් පැවසීය.

ඉන් අනතුරුව නාමල් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා පිටතට පැමිණියේය.

ඊට පසුදින නාමල්ගේ මලලසේකර පාරේ නිවසට මන්ත්‍රීවරුන් තිහක් පමණ පැමිණියේ ආසන සම්මේලන මාලාව පිළිබඳව කතා කිරීමටය. මෙහිදී මන්ත්‍රීවරු කතා වුණේ ඊට කලින් දින සිදු වූ මහින්දානන්ද හා ගුණතිලක රාජපක්ෂ අතර සිදු වුණ ගුටිබැට හුවමාරුව පිළිබඳවය.

“මෙහෙමයි පොඩි ළමයි නෙවෙයිනෙ. මීට වඩා වගකීමකින් කටයුතු කරන්න තිබ්බා. ඉස්සරහට මෙහෙම වෙන්න නරකයි. ඒ වගේම ඉස්සරහට රැස්වීම් ගොඩක් එනවා. ඉතින් ඕවගෙ රණ්ඩු නොවී අවශ්‍ය දේ විතරක් කතා කරලා අවශ්‍ය වැඩේ කළා නම් ඇති.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment