නලින් ද සිල්වාගේ අවසන් කටයුතු ඇමරිකාවේදී

173

අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05දා) පස්වරු 1.00 සිට 4.00 දක්වා කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඒ මහතාගේ දේහය කැලිෆෝනියාවේ ෆ්‍රෙමන්ට් බුලෝවාඩ් හී අංක 40842 හි අවසන් කටයුතු සඳහා තැම්පත් කර ඇත. ඒ මහතා පසුගිය 02 වැනිදා ඇමරිකාවේ එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 79 වන වියෙහි පසුවූ ඒ මහතා දශක 6ක පමණ කාලයක් පුරා චින්තකයෙකු ලෙසත්, දේශපාලන විශ්ලේෂකයෙකු ලෙසත් ජාතියට විශාල මෙහෙවරක් කළේය. ජාතික චින්තන මතවාදයේ ප්‍රධාන න්‍යාචාර්යවරයකු ලෙස කටයුතු කළ නලින් ද සිල්වා මහතා එහිදී බටහිර මතවාදයන්ට එරෙහිව ජාතිකවාදී මතවාදයන් වෙනුවෙන් සහ දෙමළ බෙදුම්වාදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබීය. එම කාර්යභාරයේදී උපාලි පුවත්පත් සමාගම විශාල ඉඩක් වෙන් කර දී ඇති අතර දිවයින පුවත් පතේ පළවූ “දැක්ම” විදුසර පුවත්පතේ පළවූ “විද්‍යා කතන්දර” ජනතාවට වඩාත් සමීප විය. ඒ මහතා 1944 ඔක්තෝබර් 20 වන දින පානදුරේ වෑකඩදී ජන්ම ලාභය ලැබීය.

මේ අතර චින්තන පර්ෂදය මඟින් ආචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් අද ඉරිදා සවස 3.00ට කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පාංශුකූලය පිරිනැමීමේ පුණ්‍ය කටයුත්ත සිදු කරන බව පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමියෝ සඳහන් කළහ.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment