නිමේෂ්ගේ මරණයේ සාක්ෂි විභාගය 16දා ඇරැඹෙයි

35

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී පහරකෑමට ලක්ව මියගියේ යැයි කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගෙ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්‍ෂි විභාගය ලබන 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (30දා) දින නියම කළේය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් පස්දෙනකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය. අධිකරණය විසින් පසුගිය 17 වැනිදා ලබාදුන් නියෝගය අනුව භූමදාන කොට තිබූ නිමේෂ්ගේ දේහය පසුගිය 23 වැනිදා ගොඩගෙන විශේෂඥ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදුකළ බව ඒ සම්බන්ධයෙන් මූලික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30දා) අධිකරණයට පැවැසීය. එකී විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මරණයට ලක්වූ අයගේ දේහයෙන් ලබාගන්නා ලද සාම්පල් කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත මේ වනවිටත් යොමු කර ඇති බවත් විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් අධිකරණයට පැවසූහ.

එම මහෙස්ත්‍රාත් සාක්‍ෂි විභාගය සඳහා සාක්‍ෂිකරුවන් 20 දෙනකු කැඳවීමට අපේක්‍ෂා කරන බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment