‘නියමිත දිනයේ’ කංචන හිරවුණාලු

937

පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව විදුලිබල පනත ක්‍රියාත්මක කිරීම සඳහා ‘නියමිත දිනය’ ගැසට් කිරීමට පෙර පූර්ව අවශ්‍යතා හතරක් සම්පූර්ණ කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීම සේවක ජයග්‍රහණයක් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සඳහන් කරයි.

ක්ෂේත්‍රවල ලේකම් කාර්යාලය මගින් තාවකාලික හුවමාරු සැලැස්ම සකස් කර අනුමැතිය ලබා ප්‍රකාශයට පත් කිරීම, ජාතික විදුලිබල උපදේශක සභාව විසින් සකස් කරන ‘ජාතික විදුලි ප්‍රතිපත්තිය’ සකස් කර අනුමැතිය ලබා ප්‍රකාශයට පත් කිරීම, ජාතික පද්ධති ක්‍රියාකරු විසින් සකස් කරන දිගුකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැලැස්මට අනුමැතිය ලබා ගැනීම සහ ජාතික පද්ධති ක්‍රියාකරු විසින් වාර්ෂික විදුලිබල ප්‍රසම්පාදන සැලසුම සකස් කර අනුමත කර ප්‍රකාශයට පත් කිරීම යන කරුණු 04 සම්පූර්ණ කිරීමකින් තොරව මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් ‘නියමිත දිනය’ ගැසට් කිරීමට විදුලි ඇමැතිවරයාට බලයක් නොමැති බව ද විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

විෂය භාර ඇමැතිවරයා සෑහීමකට පත්වන ආකාරයට මෙම පූර්ව අවශ්‍යතා හතර සම්පූර්ණ කළත්, එකී ‘නියමිත දිනය’ ගැසට් කර නොමැති නම් පමණක් මෙම පනත පාර්ලිමේන්තු පනතක් බවට පත්වන දිනයේ සිට මාස 12ක කාලසීමාවක් ඉකුත්වූ වහාම ක්‍රියාත්මක භාවයට එළැඹිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවද ඔවුහු සඳහන් කරති.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව දැනට ලංකා විදුලිබල මණ්ඩලය සතුව පවතින සියලුම සම්පත් (ඉඩම්, ගොඩනැඟිලි, විදුලි බලාගාර, යන්ත්‍ර සූත්‍ර ඇතුළු සියලුම චංචල දේපළ) රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කළ යුතු බවද, ‘නියමිත දිනය’ ට පෙරාතුව එම තාවකාලික හුවමාරු සැලැස්මට අදාළව තක්සේරු කරන ලද අදාළ වත්කම් ඒ ඒ අදාළ අනුප්‍රාප්තික සමාගම්වලට වෙන් කිරීම කළ යුතු බවද සඳහන් කර ඇතැයි ද විදුලි වෘත්තීය සමිති කියයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment