නිල නිවාසයෙන් යන්නැයි මහින්දට අවසන් වරටත් කියනවා – යන්න තැනක් නැතිනම් සුදුසු ගෙයක් දෙන්නම්

4186

නිල නිවාස භාරදුන් රනිල්ට, ගෝඨාට, හේමාට ස්තූතියි
ජනපති කුරුණෑගලදී කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචිව සිටින නිල නිවසින් ඉවත්ව යන ලෙස අවසන් වරට පවසන බවත් යන්නට තැනක් නැතිනම් සුදුසු නිවසක් රජයෙන් ලබාදිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (01දා) කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමිනි.

මෙය පළිගැනීමක් නොව රට ශිෂ්ටසම්පන්න කිරීමට ගන්නා පියවරක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මේවා සෙල්ලක්කාර ජීවිතයක් ගත කිරීමට ඇති කරගෙන තිබෙන දේශපාලන සංස්කෘතියක්. ජනතාව අපට බලය ලබාදුන්නේ මෙම මජර දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි.

අපේ රටේ දේශපාලනය ජනතාවට බරක් වෙලා. හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස නඩත්තු කරන්නේ මහජන මුදල්වලින්. මොනවා නැතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්ව යන විටම නිල නිවාස භාරදී ගියා. අපි ඔහුට ස්තූතිය පළ කරනවා. නිල නිවාස යළි රජයට භාරගන්නා බව පැවසූ විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් නිල නිවසින් ගියා. ඔහුටත් ස්තූතිය පළ කර සිටිනවා. හේමා ප්‍රේමදාස මහත්මියත් නිල නිවාසය භාර දුන්නා. ඇයටත් ස්තූතිය පළ කරනවා. නමුත් තව තුන් දෙනෙක් ඉන්නවා. එයාලා නිල නිවාසවලින් යන්නේ නැහැ. මේවා මහජන මුදලින් නඩත්තු වන දේවල්. ලැජ්ජයි! මේ අය නායකයොද? ඔවුනට වෙනස් වෙන්න බැහැ. නමුත් අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ජනතාව අපට බලය ලබාදුන්නේ ඒ සඳහායි. අපි හැමදෙනාම මහජනයාගේ ධනය නාස්ති නොකර දේශපාලනය කරමු. සරල ජීවිතයක් ගත කරමු. නායකයෝ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න පුරුදු වෙමු.


advertistmentadvertistment