නීතිය ඉදිරියේ සැවොම සමානයි ලොවට කියන – “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු”

2041

කර්තෘ :- ඒ. ජේ. ඒ. අබේනායක

ප්‍රකාශක :- කර්තෘ ප්‍රකාශක
මිල :- රු. 1900.00 යි
පළමු මුද්‍රණය :- 2024 සැප්තැම්බර්
දෙවන මුද්‍රණය :- 2025 පෙබරවාරි (සංශෝධිත)

ප්‍රවීණ මාධ්‍යවේදී A. J. A. අබේනායක මහතා විසින් රචිත “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු” නමැති ග්‍රන්ථය සිංහල මාධ්‍යයෙන්, සරල බසින් ලියැවුණු පුරෝගාමී නීති ග්‍රන්ථයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. අධිකරණ මාධ්‍යවේදියකු ලෙස දශක 2 කට අධික කාලයක් නඩු තීන්දු ආශ්‍රිතව මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු A. J. A. අබේනායක මහතා සිය මාධ්‍ය භාවිතාව සත්‍ය, නිවැරදි, පැහැදිලි හා සමබරව මෙහෙයවූ කීර්තිමත් මාධ්‍යවේදියෙකි.

අධිකරණ මාධ්‍ය වාර්තාකරණය හැම මාධ්‍යවේදියකුටම කළ හැකි කාර්යයක් නොවේ. එම නිසාම අධිකරණ වාර්තාකරණය ගැන මනා පුහුණුවක් මෙන්ම අත්දැකීම් පරිචයක් හා ආචාරධර්මීය පිළිවෙත් භාවිතාවක් අධිකරණ මාධ්‍යවේදියකු තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එකී සියලුම ගුණාංග A. J. A. අබේනායක මහතා තුළ නොඅඩුවම පවතී. එමගින් ඔහු ලද පන්නරය “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු” ග්‍රන්ථය සම්පාදනයට පිටිවහලක් වී තිබේ.

අබේනායක මහතාගේ මාධ්‍ය භාවිතාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ග්‍රන්ථයේ පසු වදනේ කර තිබෙන සටහනින් මෙම ග්‍රන්ථයේ විචාරයට මම පිවිසෙමි.

“ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී A. J. A. අබේනායක මහතාගේ “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු” නමැති ග්‍රන්ථය අභියෝගාත්මක කෘතියකි. අධිකරණ වාර්තාකරණයේ ප්‍රවීණයකු වන අබේනායක මහතා අධිකරණය විසින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේදී දේශයට මාධ්‍යකරණයෙහි ලා මහත් දායකත්වයක් දරනු ලබයි. අධිකරණ නඩු කෘතියක් වාර්තා කිරීමේදී පැමිණිලි පාර්ශ්වයට අගතියක් (Prejudice), චූදිත පාර්ශ්වයට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයට සහ සාධාරණ නඩු විභාගයකට (presumption of innocence / Fair Trail) බලපෑමක් සහ අධිකරණය පාර්ශ්වයෙන් අපහාසයක් (contempt) විය යැයි ප්‍රකාශ කරලිය හැක. එවන් පසුබිමක අධිකරණයම නඩු කෘත්‍යයක, පසුබිම, සාක්ෂි සහ තීන්දුව නිවැරදි සහ සත්‍ය ලෙස සමාජගත කිරීම සුවිශේෂී මාධ්‍යකරණයකි.”

මින් පැහැදිලි වන්නේ කතුවරයා අධිකරණයමය තීන්දු ආශ්‍රිතව වාර්තාකරණයේ හා ග්‍රන්ථකරණයේ යෙදෙන විට ඉතාමත් ප්‍රවේශමෙන් හා ශික්ෂණයකින් යුතුව කටයුතු කළ යුතු බවයි. එය කතුවරයා මැනවින් ඉටුකර තිබෙන බව නීති ක්‍ෂේත්‍රයේ කීර්තිමත් ප්‍රවීණයකු වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා සහතික වෙයි.

දශක 3 කට ආසන්න ලේඛන හා වාර්තාකරණ භාවිත පරිචයක් හිමි කතුවරයා මෙම ග්‍රන්ථය ඉතාමත් අපූරුවට සරල බසින්, ආකර්ෂණීය ලෙස ලියා තිබීම අගය කළ යුතුය. ඔහු වාර්තාකරණ ස්වරූපයෙන් මිදී රසවත් නවකතාවක් ආකාරයටත්, තවත් විටෙක ගවේෂණාත්මක සාහිත්‍ය කෘතියක් ලෙසටත් “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු” කෘතිය සම්පාදනය කර තිබේ.

මෙම ග්‍රන්ථයේ අඩංගු වන නඩු තීන්දු අප රටේ මෑත ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් නඩු ආශ්‍රිත ආන්දෝලනාත්මක නඩු තීන්දු වේ. මෙම ග්‍රන්ථයේ එවැනි ආන්දෝලනාත්මක නඩු තීන්දු 30ක්, පිටු 552 ක් පුරාවට අපූරුවට රසවත්ව ගොනු කිරීමට කතුවරයා සමත්ව සිටී.

ග්‍රන්ථයේ පළමු පරිච්ඡේදය ආරම්භ වන්නේ මේ රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඝාතනයක් වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව ආශ්‍රිත නඩු විභාගයෙනි. කතුවරයා එයට

“ගැටුම භාරතට මරු කැඳවයි” නමින් ශීර්ෂ පාඨයක් යොදා එකී කතාව ඉතිහාසයේ සිට මුල, මැද, අග මැනවින් ගළපමින් හා ඉතාමත් ප්‍රවේශමෙන් එකී නඩුව ආශ්‍රිත සාක්ෂි විභාග, C. I. D. පරීක්‍ෂණ, අත්අඩංගුවට ගැනීම්, සෙසු පුද්ගල සාක්ෂි විභාග, මරණයේ අවසන් කටයුතු කිරීම, චූදිත දුමින්ද සිල්වා රෝහල් ගත කිරීම, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙන යෑම ඇතුළු දිගු කලක් පැවැති දීර්ඝ නඩු විභාගය නවකතාවක්, චිත්‍රපටයක් ලෙස ගළපාගෙන යන ආකාරයට අදහස් දක්වමින් සංවාද, හරස් ප්‍රශ්න කිරීම්, පැහැදිලි කිරීම් ආදිය මැනවින් ගළපමින් තීන්දු ප්‍රකාශනය දක්වා අපූරුවට පද ගළපා තිබේ. කතුවරයාගේ මෙම පද ගැළපුම හා රචනා ශෛලිය තුළින් එකී සිද්ධියේ දර්ශන පාඨකයාගේ මනස තුළ රූපමය වශයෙන් මැවීමට (පරිකල්පනය කිරීමට) තරම් ප්‍රබල සන්නිවේදනයක් ඇති කරනු ලබයි.

එසේම කතුවරයා මෙකී නඩු තීන්දුවල සාරය අපූරුවට ගොනු කිරීමට සමත්ව තිබෙන අතර එකී තීන්දු විග්‍රහ කිරීම්වලදී, පරිසරය පෞද්ගලික සබඳතා, මානව හැඟීම් ආදිය තමන් නිරීක්‍ෂණය කළ ආකාරයට ද අපූරුවට සටහන් කර තිබීම නිසාම එකී නඩුව හා තීන්දුව ආශ්‍රිත ඉතිහාසගත පසුබිම මැනවින් පැහැදිලි කෙරේ.

කතුවරයා මෙකී නඩු තීන්දු 30 ආශ්‍රිතව සන්නිවේදනාත්මක අපූරු ශීර්ෂ පාඨ යොදා තිබීම ද ග්‍රන්ථයේ වටිනාකම ඉහළ නැංවීමටත්, පාඨක ආකර්ෂණය ග්‍රහණය කර ගැනීමටත් සමත්ව තිබේ.

කතුවරයා භාෂාව මැනවින් හසුරුවමින් අපූරුවට එකී නඩු තීන්දු හැමටම තේරෙන ආකාරයට ඉතාමත් සරලව පද ගළපා තිබීම නිසා පාඨකයාට පහසුවෙන් තේරුම්

ගැනීමට ඉඩකඩ සැලසේ. එසේම මෙම නඩු තීන්දු 30 ආශ්‍රිතව පැහැදිලි කිරීම්, විස්තර කිරීම්, සංවාද, වාද විවාද, ඉතිහාස තොරතුරු, සාක්ෂි හා හරස් ප්‍රශ්න ආදිය ඉදිරිපත් කිරීම්වලට අමතරව හැම පරිච්ඡේදයක් අවසානයේදීම පෙළ ගැස්මක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. මෙම

පෙළගැස්ම තුළ එකී නඩුව ආශ්‍රිතව කටයුතු සිදුවූ ආකාරය, එකී නඩු නිමිත්ත සිදුවූ දිනය, අත්අඩංගුවට ගැනීම්, මූලික පරීක්‍ෂණ කටයුතු, ඇප නියම කිරීම්, වැඩිදුර පරීක්‍ෂණ හා සාක්ෂිකරුවන් අත්අඩංගුවට ගැනීම් මෙන්ම ඒ ආශ්‍රිත දින වකවානු ඉතාමත් පැහැදිලිව සඳහන් කර තිබීම නිසාම නීතිය හදාරන, නීති වෘත්තියේ යෙදෙන, නීතිය ආශ්‍රිතව පර්යේෂණවල යෙදෙන වෘත්තිකයන්ට, සිසුන්ට අදාළ මූලාශ්‍ර ආශ්‍රිතව වැඩිදුර තොරතුරු සොයා ගැනීම ඉතා පහසුය.

එසේම මෙම ග්‍රන්ථයේ තවත් සුවිශේෂී ගුණාංගයක් වන්නේ, කතුවර A. J. A. අබේනායක මහතා අධිකරණ වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියකු වන නිසා මෙම නඩු හැම එකකටම සජීවීව සහභාගි වෙමින් එකී නඩු කටයුතු ආශ්‍රිතව සටහන් තබා ගනිමින්, එකී කරුණු වැඩිදුරටත් ගවේෂණය කරමින්, එකී නඩු සඳහා පෙනී සිටි නීතිඥ මහත්ම මහත්මීන් හමුවී, නඩුකරයට අදාළ නීතිමය සිද්ධි වැඩිදුරටත් පැහැදිලි කරගනිමින් සත්‍ය, නිවැරදි, සමබර හා නිරවුල් ලෙස අර්ථාන්විතව වාර්තා කිරීමයි. එසේම ඔහු එකී නඩු පැවැත්වෙන දින වකවානු මඟහරින්නේ නැතිව, එයට අඛණ්ඩව සහභාගි වෙමින් පැහැදිලි දර්ශනයක හා ඒකීයත්වයක සිට වාර්තා කිරීම විශේෂත්වයකි.

එසේම අබේනායක මහතා දිගු කාලයක සිට අධිකරණ වාර්තාකරණයේ යෙදීම නිසාත් ඔහු නීති ප්‍රජාව සමග ඉතාමත් සුහදශීලීව, මිත්‍රශීලීව, නිහතමානී ලෙස කටයුතු කිරීම නිසාත් මෙකී ග්‍රන්ථය පිරිපුන් ග්‍රන්ථයක් කිරීමට ඔවුනගේ සහයෝගයත්, කතුවරයාගේ අත්දැකීම් පරිචයත් ප්‍රබලව හේතුවී තිබේ.

එසේම මෙම ග්‍රන්ථයේ සඳහන් වන ඇතැම් නඩු තීන්දු ශ්‍රී ලාංකීය නීති ක්‍ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ ඒවා වීම ද මෙම ග්‍රන්ථයේ වටිනාකම ඉහළ නැංවීමට හේතු වී තිබේ. එසේම කතුවරයා මෙම ග්‍රන්ථය රචනා කිරීම තුළ නීතියේ පවතින උත්තරීතර භාවය, ඒ සඳහා නඩු කාර්ය පටිපාටිය සිදුවන ආකාරය, ඒ තුළ පවතින සමාජයීය, සංස්කෘතිකමය මෙන්ම දේශපාලනික පැතිකඩයන් ඉතා සියුම්ව විග්‍රහ කර තිබීම ද අගය කළ යුතුය. එසේම මෙම ග්‍රන්ථය තුළින් රටේ සාමාන්‍ය පොදු ජනතාවට අධිකරණයේ උත්තරීතර භාවය මෙන්ම, සෑම දෙනාම නීතිය ඉදිරියේ සමානාත්මකතාව ගැන ද ඉතා සියුම්ව විග්‍රහ කිරීමට කතුවරයා ගෙන තිබෙන උත්සාහය ප්‍රශංසනීයයි.

ග්‍රන්ථයේ කතුවර A. J. A. අබේනායක මහතා තමන් අකුරු කළ පුත්තලම ඈත එපිට ගම්මානයක පිහිටි ගල්කුලිය ලිහිණිගිරි විiාල මාතාවට තම ග්‍රන්ථය පිදීම ද අගය කළ යුතුය. එසේම කතුවරයා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරියකු වන අතර ස්වේච්ඡා ගුරුවරයකු ලෙස කටයුතු කර තිබේ. ඉන් අනතුරුව ග්‍රන්ථ කතුවරයකු ලෙස මුලින්ම “සුවඳ කැකුළු” නමින් ග්‍රන්ථයක් ලියා පළ කර ඇති අතර පසුව නවකතා, කෙටිකතා, කාව්‍ය ග්‍රන්ථ ගණනාවක්ම රචනා කර පළ කළ පළපුරුදු ග්‍රන්ථ කතුවරයෙකි. ඔහු මුලින්ම මාධ්‍යකරණයට පිවිසෙන්නේ “වයඹ විත්ති” නම් ප්‍රාදේශීය පුවත්පතෙනි. ඉන්පසුව නිදහස් මාධ්‍යවේදියකු ලෙසින්, සංස්කාරක මණ්ඩල සාමාජිකයකු ලෙසත්, රාවය, යුක්තිය, නිදහස කෙළිබිම, යෙහෙළිය සහ රිවිර පුවත්පත්වලට ලිපි සම්පාදනය කරමින් සිය ලේඛන කුසලතාව වර්ධනය කරන්නේය. වර්ෂ 1997 සිට ‘දිවයින’ පුවත්පතේ ආණමඩුව ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස සිය අඛණ්ඩ පුවත්පත් දිවිය අරඹා ඇත. ඉන් අනතුරුව ‘දිවයින’ පුවත්පතේ අධිකරණ වාර්තාකරුවකු ලෙස කටයුතු කරමින් පාඨක ජනතාවට නිවැරදිව හා පැහැදිලිව මෙන්ම වගකීමෙන් යුතුව ආචාරධර්මානුකූලව නඩු වාර්තා කිරීමට පියවර ගත් කතුවරයාගේ මෙම ලේඛන හා මාධ්‍ය පරිචය මෙම ග්‍රන්ථය ආලෝකවත් කිරීමට හේතුවී තිබේ.

මෙම “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු ග්‍රන්ථය” නීතිය හදාරන සිසුන්ට, අපරාධ විiාව හදාරන සිසුන්ට, වෘත්තීය නීතිඥයන්ට, අධිකරණ වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට, අපරාධ මර්දනය කරන පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට මෙන්ම නීතිය ගැන උනන්දුවක් දක්වන්නන්ට ද මෙම ග්‍රන්ථය දැනුම වඩන ඉතා වටිනා අගනා ග්‍රන්ථයක් බව අවසන් වශයෙන් සටහන් කරමි.

නීතිය ඉදිරියේ සැවොම සමානයි ලොවට කියන - “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු”

දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ
හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ / මාධ්‍ය හා සන්නිවේදන බාහිර කථිකාචාර්ය


advertistmentadvertistment