නේපාලයේ ප්‍රකට ‘බුද්ධ බෝයි’ට වසර 10ක සිරදඬුවමක්

1

නේපාලයේ ජනප්‍රිය අධ්‍යාත්මික නායකයෙකු සේ සැළකෙන රාම් බහදුර් බම්ජාන් හෙවත් “බුද්ධ බෝයි” හට බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කිරීමේ වරදට වසර 10ක සිරදඬුවමක් පැනවීමට නේපාල අධිකරණයක් විසින් පෙරේදා (01දා) පියවර ගෙන තිබේ. දකුණුදිග නේපාලයේ සාර්ලාහි දිස්ත්‍රික් උසාවිය විසින් 35 හැවිරිදි බුද්ධ බෝයි නමැත්තාට වසර 10ක සිරදඬුවමට අමතරව ඔහු විසින් අතවරයට ලක් කළ දැරියට ඇමරිකානු ඩොලර් 3700ක වන්දි මුදලක් ගෙවීමට ද නියෝග කර තිබේ.

ඉකුත් ජනවාරි මාසයේදී නේපාලයේ කත්මන්ඩු අගනුවර පිහිටි තදාසන්න ප්‍රදේශයකදී නේපාල පොලිසිය විසින් බුද්ධ බෝයි අත්අඩංගුවට ගෙන තිබුණේ දැරියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට හා ඔහුගේ අනුගාමිකයන් සිවුදෙනෙකු අතුරුදන් වීමේ සිදුවීමට සම්බන්ධ බවට පවතින සැකය මතය. ඔහු ළඟ තිබී ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිහත්දහසක් වටිනා නේපාල මුදල් නෝට්ටු තොගයක් හා ඇමරිකානු ඩොලර් 23,000ක් වටිනා වෙනත් විදේශීය මුදල් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඉකුත් සතියේදී බුද්ධ බෝයි නමැත්තා බාලවයස්කාර දැරියට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට වරදකරු බවට අධිකරණය විසින් සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබිණි. 2005 වසරේදී බෞද්ධ ආගමික නායකයෙකු ලෙස නේපාලයේ ප්‍රසිද්ධියට පත් වූ බුද්ධ බෝයිගේ ජනප්‍රියත්වය මෑත කාලයේදී අඩු වන්නට වූයේ ඔහු විසින් සිය අනුගාමිකයන්ට ලිංගික අතවර හා පහරදීම් සිදු කරන බවට එල්ල වූ චෝදනා හේතුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment